චෝදනා පිළිගන්න බෑ! අත්අඩංගුවට ගැනීම වැරදියි! එක එක අයගේ මනදොළ සපුරන්න යමෙකු බන්ධනාගාරගත කරන්න බෑ! – හේමසිරිට පූජිතට ඇප දෙමින් අධිකරණය කියයි..

July 9, 2019 at 5:18 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අඟහරුවාදා (ජූලි 09) නියෝග කළාය.

මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ, ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වූ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

එම තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ඔවුන්ට එරෙහි චෝදනා පිළිබඳ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දීර්ඝ පැහැදිලි කිරීමක් කළාය.

පොලිසිය ඉල්ලා සිටින නිසා ම හෝ වෙනත් පාර්ශවයක මන දොළ සපුරාලීමට යමෙකු බන්ධනාගාරගත කළ නොහැකි යැයි ලංකා ජයරත්න, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඇය එහිදී ප්‍රකාශ කළේ, නීතිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්ති ප්‍රකාරව ගොනු කර ඇති මිනීමැරීම් චෝදනා පදනම් විරහිත බවය.

“පොලිසිය ඉල්ලා සිටින නිසා ම හෝ වෙනත් පාර්ශවයක මන දොළ සපුරාලීමට යමෙකු බන්ධනාගාරගත කළ නොහැකි,” බව හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ අධිකරණ වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

“අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල නැහැ”

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, අදාළ රජයේ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමෙන් තොරව බවය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයක වාර්තාවක් පදනම් කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව නීතිමය වාර්තාවක් නොවන බවත් ඇය පෙන්වා දුන්නාය.

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර අත්අඩංගුවට – පොලිසිය
බුද්ධි අංශ විසින් සපයන ලද තොරතුරු කිසිවක් නිශ්චිත තොරතුරු නොවන අතර එම තොරතුරු අනුව ක්‍රියාමාර්ග නොගැනීම නිසා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු බවට ගොනු කර ඇති චෝදනා පදනම් විරහිත බව ද මහේස්ත්‍රාත්වරිය උදාහරණ සමගින් පැහැදිලි කළාය.

ජූලි 03 අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ජූලි 09 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ, ජූලි 03 වෙනිදාය.

එදින ඉදිරිපත් කළ ඇප ඉල්ලීමේ තීන්දුව ජූලි 09 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කර තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ජූලි 03 වෙනිදා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කරන බවය.

296 වගන්තිය මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා බැවින් එම චෝදනා ඉදිරිපත් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය පදනම් කරගනිමින් බවට ඔහු එහිදී නීතිමය තර්ක ඉදිරිපත් කළේය.

මෙහිදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙන්වා දුන්නේ තම සේවාදායකයන්ට 296 වගන්තිය යටතේ චෝදනා එල්ල කිරීමට ඔවුන් වරදක් කර නොමැති බවය.

එමෙන් ම, ලද බුද්ධි වාර්තා පදනම් කරගෙන තම සේවාදායකයන් තමන්ගේ වගකීම් ඉටුකර ඇති බව ඔහු කරුණු සහිතව විස්තර කළේය.

පාස්කු ප්‍රහාරය: පූජිත් සහ හේමසිරිට මිනීමැරීමේ චෝදනා
අඟහරුවාදා (ජූලි 09) ඇප ඉල්ලීම් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, 296 වන වගන්තියට අමතරව අනෙක් චෝදනා ද ප්‍රශ්නසහගත බව පෙනී යන බවය.

 BBC Sinhala

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *