අනුරාධපුර යුගයේ කින්නියා දාගැබ ප්‍රතිසංස්කරණයට දෙමළ සන්ධානය හරස්වෙයි!

July 17, 2019 at 3:00 pm | by emanisa.lk

අනුරාධපුර යුගයේ කින්නියා දාගැබ ප්‍රතිසංස්කරණයට දෙමළ සන්ධානය හරස්වෙයි! එම භූමියේ පැරණි කෝවිලක් තිබුණේ යැයි විරෝධතා පාති! අධිකරණ නියෝග නොතැකූ පිරිස් පාලනයට STF කැඳවයි!

ත‍්‍රිකුණාමලය කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා ස්ථානයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විරෝධය පා ඊයේ (16) කන්නියා මංසන්ධියෙහි පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා තත්ත්වය පාලනය කිරීමටත් ඒ අවට ආරක්ෂාවටත් පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව යොදවනු ලැබීය.

උණු දිය ළිං පුරාවිද්‍යා පරිශ‍්‍රයේ පිහිටි අනුරාධපුර යුගයට අයත් දාගැබෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් ලබා දීමෙන් පසුව එම දෙපාර්තමේන්තුව එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරමින් සිටියදී ඊට විරෝධයා පා දෙමළ ජාතික ජනතා පෙරමුණෙහි නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන්, මඩකලපුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී යෝගේෂ්වරන් හා ත‍්‍රිකුණාමලයේ දෙමළ දේශපාලන පක්ෂ රැසක පළාත් පාලන මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් ඊට විරෝධය පෑමට මෙම ස්ථානයට රැස්ව සිටියහ.

මෙම පිරිස මෙම ස්ථානයට පැමිණ විරෝධය දක්වන බව දැන සිටි උප්පුවේලි පොලිසිය එය වාරණයට ලක් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි. එමෙන්ම ත‍්‍රිකුණාමලය ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් හිමිවරුන්, ප‍්‍රදේශවාසීන් හා විවිධ පක්ෂවලට අයත් පළාත් පාලන මන්ත‍්‍රීවරුන් රැසක් උණු දිය ළිං පුරාවිද්‍යා ස්ථානය ආසන්නයට පැමිණ රැඳී සිටීම නිසා දෙපාර්ශවය අතර ඇතිවන්නට ගිය නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මාර්ග බාධක යොදා දෙපාර්ශ්වයෙහි මග අහුරා තිබුණි.

මේ හේතුවෙන් කන්නියාව උණු දිය ළිං පරිශ‍්‍රය නැරඹීමට පැමිණ සිටි සංචාරකයන් රැගත් වාහන රැසක් ඉන් පිටතට යෑමට නොහැකිව පැය ගාණක් සිරවී තිබිණි. ඇතිවූ හදිසි තත්ත්වය පාලනය කිරීමට සූදානමින් අවට පොලිසි කිහිපයකින් පොලිසිය හා විශේෂ කාර්ය බළකා භට පිරිස් මෙන්ම 221 බල සේනා මූලස්ථානයට අයත් හමුදා කැඳවා ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.

සංරක්ෂණය කිරීමට යෝජිත දාගැබෙහි සංරක්ෂණ කටයුතු නොකරන ලෙසත් එම ස්ථානයෙහි පැරණි කෝවිලක් තිබූ බවත් විරෝධතාකරුවෝ පැවැසූහ. විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය විසින් ලබාගෙන තිබූ අධිකරණ නියෝගය පොලිසිය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවද විරෝධතාකරුවන් ඉන් පිටව නොගිය අතර අධිකරණ නියෝගය නොතකා උණු දිය ළිං පරිශ‍්‍රයට කඩා වැදීමට කලහකාරීන් උත්සහ ගැනීම නිසා පොලිසිය හා කලහකාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

2011 සැප්තැම්බර් නම වන දින අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් උණුදිය ළිං හා ඒ අවට භූමිය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කර ඇති අතර එහි සංරක්ෂණ කටයුතු කරන ලෙසට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ත‍්‍රිකුණාමලය දිසාපතිවරයා හා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද ලිඛිතව දන්වා තිබේ. පැය කිහිපයක් පුරා කලහකාරී අයුරින් කන්නියා මංසන්ධියේ රැඳී සිටි පිරිස් පසුව විසිර ගියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස