TNA අන්තිම තප්පරේ එජාප අපේක්ෂකයාට සහාය දෙන නාඩගමට මෙවරත් සූදානම්!

September 28, 2019 at 6:01 pm | by emanisa.lk

මුලතිව්, නයාරු, ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ සිද්ධිය මත සිංහල ජාතික නායකයකුට ඡන්දය ලබාදෙන ලෙසට උතුරේ ද්‍රවිඩ ජනතාවට දැනුම් දීමට ද නොහැකි තත්ත්වයක් මතුව ඇති බව දෙමළ ජාතික සන්ධානය එජපා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හමු වූ අවස්ථාවේ පවසා තිබේ.

ගුරුකන්ද රජමහ විහාරය පිහිටි භූමියේ කෝවිලක් ගොඩනැඟීමට සහ එයින් පසු ගැටුමක් නිර්මාණය කර ගැනීමට පාදක වූයේ එම භූමිය පුරාවිද්‍යා භූමියක් ලෙස පුරාවිද්‍යා කොමසාරිස්වරයා අධිකරණය හමුවේ පිළිගත්ත ද එය නිසි ලෙස පුරාවිද්‍යා භූමියක් ලෙස ප්‍රකාශයට පත් නොකිරීම නිසාය.

පසුගිය සමයේ මෙම නීතිමය කටයුතු සම්පූර්ණ මෙම ඓතිහාසික විහාර භූමිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටිය ද එය සිදුවූයේ නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වීම ද සජිත් ප්‍රේමදාස සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කිරීම ද විශේෂත්වයකි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම, ජාතික ප්‍රශ්නය සඳහා කඩිනම් විසඳුමක් ලබාදීම වැනි ඉල්ලීම් ක්‍රියාත්මක කරන ලෙසද දෙමළ සන්ධානය මගින් ඇමැති සජිත් ප්‍රේමදාසට දැනුම් දී ඇත. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා දෙන්නේ ද නැද්ද යන්න තීරණය කරන බව ද ඔවුන් පවසා ඇත.

කෙසේ වුවද පසුගිය ජනාධිපතිවරණවල දී මෙන්ම අවසාන මොහොත දක්වා සිය තීන්දුව ප්‍රකාශයට පත් නොකර සිට දකුණේ ජනමතයයට බලනොපාන ආකාරයට අවසාන මොහොතේ එජාප අපේක්ෂකයාට සහාය ලබා දීමේ දෙමළ ජාතික සන්ධානය උපක්‍රමය මෙවර ද ක්‍රියාත්මක කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස