අද රටේ හැම තැනම දකින්න ලැබෙන්නේ අසහනයෙන්, පීඩනයෙන්, වේදනාවෙන් හා කෝපයෙන් පෙළෙන ජනතාවය. මේ රටේ යුද්දේ පැවති වසර 30 ක කාළයේ වත් මේ ආකාරයට රටේ ජනතාව පීඩා වින්දේ නැත.
1988/89 කාළයේ රට දෙකොන ඇවිලී උතුරේ හා දකුණේ සාමය සුනු විසුනු වී තිබුණේය. එහෙත් ජන ජීවිත මේ ආකාරයට කඩා වැටුනේ නැත. ජනතාව කන්න නැතිව සාගතයෙන් දුක් වින්දේ නැත.
සුනාමියෙන් රටේ මුහුදු කරයම ජීවිත දහස් ගණනක් සමග සෝදා පාළුවට් ලක් වුවද, ජන ජීවිත මේ අයුරින් කඩා වැටුණේ නැත. රටේ ඇතිවූ ස්වභාවික හා ත්‍රස්තවාදී ව්‍යසන හමුවේ මිනිසුන් කෑවා බිව්වේය, ආයාසයකින් තොරව ජිවත් වුයේය. පෝලිම් වළ දුක් නොවින්දේය.
එහෙමනම් අද යුද වියදමක් ද නොමැතිව රටේ ජනතාවට සහණ දිය නොහැක්කේ මක් නිසාද?
පත්වෙන ඕනෑම රජයක් ඔවුන් පත්වූ කාල සීමාවට පමණක් නොව නැවත එයින් පසුවද එළබෙන කාළ සීමාවේ ද බලය අත් පත් කර ගැනීමේ අරමුණෙන් ජනතාවට සේවය කිරීම හා සහණ සැලසීම සාමාන්‍ය සිද්ධියකි.
නමුත් ඡන්ද 69 ලක්ෂයකින් තේරී පත්වූ හා ඊට සාපේක්ෂව 2/3 පාර්ලිමේන්තු බලයක් ද හිමිකර ගත් 2019 න් පසුව පත් වූ 7 වන විධායක ජනාධිපති ප්‍රමුඛ රජය දවසින් දවස ආර්ථික හේතුන් මත ජනතාව ඉදිරියේ අසාර්ථක වන්නේ මක් නිසාද? ඒ ගෝඨාභය ජනාධිපති තුමාට දේශපාලන අත්දැකීමක් නොමැති නිසා හෝ බැසිල් රාජපක්ෂයන් ආර්ථිකය හරියාකාර කළමනාකරණය නොකළ නිසාද?
අද ගෝඨා ගෙදර යනු හෝ 225 ම නෙරපමු යන සටන් පාථ නිර්මාණය වී ඇත්තේ, මා ඉහත සදහන් කළ ආකාරයට වත්මන් ජනාධිපතිතුමා හා ඉල්ලා අස්වූ මුදල් මුදල් ඇමතිතුමා සිතා මතා අසාර්ථක පරිපාලනයක් ගෙන ගිය නිසාවෙන්ද?ඔවුන්ගේ පිටින් මේ ආර්ථික පරිහානිය ඇරීම කොතෙකුත් දුරට සාධාරණ ද?
රටක් යුද්දයෙන් දිනවීමේ දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂයන් අගමැති තනතුරෙන් ජනතා උද්ඝෝෂණ තුළින් ඉවත් කිරීම යුක්ති සහගත ද? මෙහි ඇති ප්‍රශ්නාන්තර සලකුණුවලට, හෘද සාක්ෂියෙන් උත්තර සැපයීමේදී යථාර්තය අවබෝධ වෙතැයි මා විශ්වාස කරමි. මේ ආර්ථික ව්‍යසනය පටන් ගත්තේ අද ඊයේක නොවෙන බව ඔබට වැටහෙනු ඇත.
1994 සිට අප මේ ගැන සංවාදෙක යෙදිය යුතුව ඇත. අප රට ලෝකයට විවර වූයේ 1978 ආර්ථිකය විවෘථ කිරීමත් සමග කිවහොත් ඔබ එයට එකග වෙතැයි මා විශ්වාස කරමි. කොළබ වරායේ රැජින පාළම බහලුම් පර්‍යයන්තයක් කිරීම, ජයා බහලුම් පර්‍යයන්තය ඉදිකිරීම, නිදහස් වෙළද කාලාප බිහි වීම වැනි නව සංකල්ප තුළින් ශ්‍රීලංකාව ලෝක ආර්ථික ජාලය සමග මුසු කරණ ලදී.
ඒ වකවානුවේ ඉන්දියාවේ වරායවල් තුළට ආනයනය කරන ලද භාණ්ඩ බහුතරයක් රැගෙන යන ලද්දේ, අප වරාය තුළට ප්‍රති-අපනයන භාණ්ඩ ලෙස රැගෙනවිත් එම භාණ්ඩ බහලුම් තුළට අසිරීමෙන් අනතුරුවය.
එයන් අප රටට විශාල විදේශ විනිමයක් අත්පත් කර දෙන ලදී. 1978 වර්ෂයේ JR ජනාධිපති, ලලිත් ඇතුලත්මුදලි වැනි ආර්ථික ප්‍රවීනයන් විසින් ඒ අඩිතාලම දමනු ලැබුවේ අප රටේ අපනයන ආර්ථිකයක් අනාගතේ නිර්මාණය කිරීමටය.
වසර 2600 ක ප්‍රෞඩ ඉතිහාසයකට පමණක් සීමා වී ඇති ශ්‍රීලංකාව අදායම් ලැබීම අතින් ඒ යුගයේ උරුමකම් පෑවේ තේ, රබර් පොල් හා කුළුබඩු අපනයනයෙනි. ඊට අමතරව විදේශ ශ්‍රමික අපනයනය 1978 න් පසු බහුලව සිදුවන ලදී.
මේ යුගයේ නිදහස් වෙළෙඳ කළාප හඳුන්වා දෙමින් නිමි ඇඟළුම් අපනයනය බිහි කරන ලද්දේ තේ, රබර්, පොල් හා කුළුබඩු අපනයනයට අමතරව රැකියා උත්පාදන නව වෙළෙඳපොළක් රටට හඳුන්වා දීම උදෙසාය.
1990 පසුව ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාසයන්, නිමි ඇගළුම් අපනයන කේෂ්ත්‍රය උදෙසා රට පුරා සුවිසේෂි වූ සේවයක් ඉටු කළේය. ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය හා අපනයන කර්මාන්තශාලා 200 යේ වැඩ පිළිවෙළ ඉන් මූලික ස්ථානයක් හොබවයි.
විවෘත ආර්ථිකයේ ඉහළ සදහන් යහපත් ප්‍රතිපලයන් ලැබුවද, වඳුරා අතට පත් වූ දැලි පිහිය මෙන් එහි අන්තර්ගත වූ පාලනයකින් තොර වූ ආනයනය අපගේ දේශීය අභ්‍යන්තර පරිභෝජන නිෂ්පාදනය උඩු යටිකුරු කරන ලදී. ආර්ථිකය විවෘත කිරීමට යෙදවූ උපාය උපක්‍රම හා බුද්ධිය ඒ හා සමානව ආනයන පාලනය කෙරෙහි නොයෙදවීම නිසාවෙන් සංචිත ක්ෂය වීමේ තර්ජනය අද උපරිමයෙන් අත්විඳීමින් සිටියි.
1994 නව ජනපතිනිය චන්ද්‍රිකා මැතිනිය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ආනයනය තිබුණ තැනම තිබෙන්න ඇරියා පමණක් නොව අපනයන ප්‍රවර්ධනය කෙරෙහිද වැඩි නිර්මානශීලීත්වයක් නොපවත්වන ලදී. එයින් පසුවට 2019 දක්වා බිහිවූ ආණ්ඩු අපගේ අපනයන වර්ධනය කරමින් ආනයන සීමා නොකිරීමේ ප්‍රතිපලයන් ලෙස මේ වන විට මුළු රටම විනාශ මුඛය දොරටුවට තල්ලු කරමින් තිබේ.
1994 පසුව ඉලක්ක ගතවන සංවර්ධනයක් අපනයන කෙරෙහි තැබුවේ නම්, මේ වන විට අපේ රටේ වාර්ෂික අපනයන ඩොලර් ආදායම අවමයෙන් US$ බිලියන 18 – 20 ක වත් අතර තිබිය යුතුය. එය එසේ වූවා නම් Covid පිට Covid වැළඳුනත් අපගේ විදේශ සංචිත මේ තාක් නොසිදී පවතින්නේය.
බෞද්ධ කොඩිය හා වෙසක් පහන් කුඩු පවා මේ මැත යුගය දක්වා චීනයෙන් ආනයනය කිරීමට තරම් විවෘත ආර්ථික වල්බුරු නිදහසක් අපගේ ආනයනය කෙරෙහි තබා තිබුණ ද අඩුම තරමේ ඒ හා සාපේක්ෂව දේශීය කෘෂි භෝග හෝ නිෂ්පාදන භාණ්ඩ අපනයනයක් වර්ධනය කර ගැනීමට තරම් 1994 සිට පත් වූ රජයන් කිසිදු උත්සාහයක් නොගන්නා ලදී.
1983 ජුලී ජාති වාදී කලබලයන් ගෙන් පසුව බිද වැටුණු සංචාරක ව්‍යාපාරය ද, එයින් පසුව රටේ පැවැති සිවිල් යුද්ධය හා 1988/89 විප්ලවවාදී කලබල හේතුවෙන් ඉබි ගමනක වර්ධනයක් පෙන්නුවද 2009 තෙක් ප්‍රගතියක් නොදකින ලදී.
යුද්දය 2009 වර්ෂයේ අවසන් කිරීමත් සමග භෞතික වශයෙන් රටේ සංවර්ධනයන් ක්‍රියාත්මක වුවද කිසිසේත්ම අපනයන අදායම ඉහල නැංවීම උදෙසා ක්‍රියා කලාපයන් නොගත්තේය.
අද අප රට මුහුණ පාන ආර්ථික ව්‍යසනය 1994 සිට ආර්ථික විශේෂඥයින් හා දේශපාලනඥයින් නොදැකීම හා ඒ උදෙසා වියදම් ආර්ථිකයක් වෙනුවට ආදායම් ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බව අවබෝධ කර නොගැනීම රටේ සියලු ජනතාව මුහුණ පෑ අභාග්‍යයකි.
2010 වර්ෂයෙන් පසු පත් වූ රජය යුද ජයග්‍රහණයේ වසන්තය සැමරීමට යොදා ගණු ලැබුවේ භෞතික සංවර්ධනය හා සංචාරක ව්‍යාපාරය අසීමිත ලෙස සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළවල්ය.
නව ගුවන් තොටුපලවල්, වරායවල් හා මංමාවත් සංවර්ධනය උදෙසා ණය ලබා ගත්තා විනා අපගේ අපනයන ආදායම වර්ධනය කිරීම උදෙසා කිසිදු තීරසාර ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවිණි.
ඒ වකවානුවේ උතුරු නැගෙනහිර ප්‍රාදේශීයන් වසර 30 ක සිවිල් යුද්දයෙන් මුදා ගැනීමත් සමග රටේ නිමි ඇගළුම් අපනයනය උදෙසා රෙදිපිළි හා ඒහා සම්බන්ධ අමුද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලා ආයෝජකයන් දිරිමත් කරමින් ඇති කිරීමට මා පෞද්ගලිකව ලිඛිත දැනුම්වත් කිරීම් කළ ද එවකට සිටි මුදල් අමාත්‍ය ලේකම් (පසු කලක ඔහුව ආර්ථික ඝාතකයා ලෙසද හඳුන්වන ලදී ) ඇගළුම් ව්‍යාපාරය ලොව මියැදෙන ව්‍යාපාරයක් බවත් (ලෝක ජනතාව නිරුවතින් ඉදිරි කාලයේ ගමන් කරන බව අවබෝධ කරගැනීමට ඔහුට යම් නුවණක් පහළ වී තිබූ බව ඒ ප්‍රකාශයෙන් මා අවබෝධ කරගන්නා ලදී ) පවසා ඇගළුම් කේෂ්ත්‍රය පසෙකින් තබා සංචාරක කර්මාන්තය අසීමිත ලෙස සංවර්ධනය කිරීමට ක්‍රියා කළේය.
මාගේ මතකය නිවැරදි නම් ඒ වකවානුවේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක් අප රටේ පැවැත්වීමට නොපසුබස උත්සහයක් ද ගත්තේය. එය එසේ සිදු වූවා නම් ග්‍රීසියට ඔලිම්පික් පැවැත්වීමෙන් අනතුරුව සිදු වුණා සේ අපේ රටේ මේ දැන් ඇති වී තිබෙන ආර්ථික කඩා වැටීම සිදුවන්නේ මීට වසර 10 කට පමණ ප්‍රථමය.
කෙසේ හෝ ඒ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඔස්ට්‍රේලියාව වෙත ලබා දෙන ලදී. අද අපි සියලු ම දෙනා මුහුණ පානුයේ 1994 සිට වියදමට සාපේක්ෂව ආදායම ගොඩ නෝනගා ගැනීමේ අනිසි ප්‍රතිපලයන්ටය.
මෙයට හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා වත් 2019 න් පසු තෝරා පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් දේශපාලන විරුද්ධකම් නිසා හෝ වෙනයම් පෞද්ගලික එදිරිවාදී කමක් හේතුවෙන් තනිව හෝ පෞද්ගලිකව වග කිව යුතුයි කීමට තරම් අප අඥාක නොවීය යුතුය.
1994 සිට ආර්ථික තීන්දු තීරණ ගැනීමට සිටි නිලධාරීන් හා දේශපාලනඥයින් මෙහි වගකීම ගත යුතුව ඇත.
මා පෞද්ගලිකව හොඳින් දන්නා කරුණක් නම් 2020 කොරෝනා උවදුරෙන් පසුව මා මෙම යෝජනාව හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාට අභිනවයෙන් (2010 දීත් 1994 න් පසුව මා මේ යෝජනා ඉදිරිපත් කළ ද එය බැසිල් මැතිතුමාට ඉදිරිපත් නොකරන ලදී) කිරීමෙන් අනතුරුව එතුමා එය ග්‍රහණය කරගත් අතර, ඒ උදෙසා අඩුම තරමේ 2025 වන විටවත් සැලකිව යුතු නිෂ්පාදන ආර්ථිකයක් අපනයන තුළින් රටේ ඇති කිරීමට අවංකව වෙහෙස වූයේය.
නමුත් එතුමාගේ නික්ම යෑම තුළින් යළිත් ඒ සිදු කළ ක්‍රියා කලාපයන් අඩපණ විය. වත්මන් රට තිබෙන්නේ ආදායමක් නැති අයවැය පරතරය රට වෙන්දේසි කිරීමෙන් හෝ ලෝකෙට අතපෑමෙන් හෝ පියවා ගන්නා තැනකය.
මේ ව්‍යසනයෙන් ඉදිරියේදීත්වත් ගලවා ගැනීමට හැකි වෙතැයි සිතීමට පවා නොහැකි තැනකට රට අද වන විට ගමන් කරමින් සිටින බව නම් තේරුම් යමින් ඇත.
මා හොදින් අධ්‍යයනය කර ඇති ඇගළුම් අපනයනයෙන් ශ්‍රීලංකාව තුළ සිදු කරනුයේ ලෝක අවශ්‍යතාවයෙන් 0.53% ප්‍රමාණයකි. අපගේ ශ්‍රමය සමස්ත රටේම පරිභෝජනය කරනු ලබන්නේ 40,% ක් පමණි.
මේ කරණා දත්තයන් සියල්ල හොඳින් විශ්ලේෂණය කළහොත් කළ යුත්තේ කුමක්ද යන්න වැටහෙනු ඇත.
දිනේෂ් ද අල්විස්
සභාපති
ශ්‍රීලංකා ඇගළුම් පොකුරු සංසදය
(SLACA)