උගත් මහාචාර්යවරු පත්කළ ආයතන අසාර්ථක වෙලා..! දේශපාලනඥයින් පත් කළා නම් මෙහෙම වින්නැහියක් වෙන්නේ නෑ…! – ජනපති…

December 28, 2021 at 10:00 am | by emanisa.lk

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින්, කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

එසේ නොමැතිව කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් මාර්ක් ප්‍රනාන්දු විනිශ්චකාරවරයා විසින් දෙන ලද තීන්දුවක් ද තිබෙන බව ජනධිපතිවරයා සිහිපත් කළේය.

ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් ජනාධිපති මන්දිරයේදී ඊයේ (27) හමුවූ අතර, එහිදී පුවත්පත් කතුවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ ක්‍රියා කලාපය ඇතැම් ඇමතිවරුන් විසින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ද වැරදි බව ද හැම දෙයකට ම වගකිව යුත්තේ එක ම නිලධාරියා බවට ජනතාව අතර වැරදි අවබෝධයක් එමගින් ඇති වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමා සද්භාවයෙන් ආරම්භ කළ කාබනික වගා ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බලාපොරොත්තු වූ දේ කිරීමට එමගින් හැකියාව නොලැබුණු බව ද සඳහන් කළේය. කාබනික වගා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන් සහ ජනතාව දැනුම්වත් නොකළ බව කී ජනාධිපතිවරයා විෂයභාර ඇමැතිවරයාට පමණක් එය තනිව කළ නොහැකි බව ද කීවේය.

කාබනික පොහොර වැඩසටහන යටතේ සියයට තිහක් කාබනික පොහොර භාවිතයෙන්ද ,සියයට හැත්තෑවක් රසායනික පොහොර භාවිතයෙන් ද සිදුකරන බවට කෘෂිකර්ම අමාත්‍යංශය මුලින් පැවසුව ද පසුව ඒ දෙකේ මිශ්‍රණයක් ලෙස සිදු කරන්නට ඔවුන් කටයුතු කළ බව ද හෙතෙම කීවේය.

රසායනික පොහොර ආනයනය නම් කරනු ලැබුවේ කාබනික පොහොර වැඩසටහන ආරම්භ කර වසරකට පසුව බව ද ඔහු සඳහන් කළේය. චීන පොහොර නැවේ ප්‍රමිතිය සහතික කිරිමට පෙර බැංකුවේ එල් සී විවෘත කිරීම වැරදි බව ද ඔහු කීවේය.

තමා ජනාධිපති ධුරයට පත් වන විට වී සඳහා පැවැතුණේ රුපියල් 30 ක මිලක් බව කී ජනාධිපතිවරයා තමා එය රුපියල් 50 දක්වා වැඩි කළ බවත්, එමගින් ගොවීන්ට හොඳ ආදායමක් ලැබුණු බවත් කීවේය. තමා විවේචනය කරන අය ගොවීන්ට ලැබුණු වාසිය ගැන කිසිවක් කථා නොකරන බව ද ජනාධිපතිවරයා කීවේය.

ආර්ථික ප්‍රශ්නය සහ ඩොලර් හිඟය ඇතිවූයේ කොවිඩ් අර්බුදය හේතුවෙන් බව කී ජනාධිපතිවරයා එය තමාට පමණක් නොව ලෝකයට ද මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් බව ද සඳහන් කළේය. එනිසා මේ ප්‍රශ්නය අල්ලා ගෙන තමාට පමණක් දොස් කීම වැරදි බව ද හෙතෙම කීවේය.

කොවිඩ් හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමත්, විදේශ රැකියාවලින් ලැබුණු ආදායම අඩුවීමත්, ඩොලර් අරබුදයට බරපතළ ලෙස බලපෑ බව ඔහු ප්‍රකාශ කළේය. තමා බලයට පත් වී වසරක් යාමට පෙර කොවිඩ් අර්බුදය පැමිණි බව කී ජනාධිපතිවරයා සැලසුම් කළ බොහෝ දේවල් කිරීමට ඒ නිසා නොහැකි වූ බව ද සඳහන් කළේය.

ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 360 ක් ද, ගල් අගුරු ආනයනය සඳහා වසරකටඩොලර් බිලියන තුනක් ද වැය කරන බව කී ජනාධිපතිවරයා එය ආර්ථිකයට දරා ගැනීමට කිසිසේත් හැකියාවක් නැති බව ද කීවේය.

මේ තත්වයෙන් මිදීමට පුනර්ජනනීය බලශක්තිට යොමු විය විය යුතු බව කී ජනාධිපතිවරයා තමා ඉදිරියට ප්‍රමුඛතාව දෙන්නේ ඒ සඳහා බව ද කීවේය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අටසීයක් පමණ සූදානම් කර ටෙන්ඩර් කැඳවනු ලැබූ ද, ලැබුණේ ටෙන්ඩර් 150ක පමණ ප්‍රමාණයක් බව ද ඔහු කීවේය.

මේ අතර, ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඇතැම් සභාපතිවරුන් පත්කිරීම අසාර්ථක වූ අවස්ථා තිබෙන බව ද , රටේ මහාචාර්යවරුන් පත් කරපු ඇතැම් තැන් ද අසාර්ථක වී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය. එම තැන්වලට දේශපාලඥයන් පත්කළේ නම්, වඩාත් හොඳ බව ද හෙතෙම සඳහන් කළේය. තමන්ට තවත් වසර තුනක කාලයක් තිබෙන බව කී ජනාධිපතිවරයා සැලසුමක් අනුව කටයුතු කරන බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස