අර්බුදය අවසන් කරන තුරු ඉවසීමෙන් වැඩ කරන්න..! ජනතාවට නැති වූ සියල්ල නැවත ලබා දෙනවා..! – රනිල්…

May 14, 2022 at 10:12 am | by emanisa.lk

රටේ ආර්ථික අර්බුදය යහපත්වීමට පෙර නරක අතට හැරෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගිය 12 වෙනිදා හය වන වතාවටත් අගමැති ධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ BBC සේවය සමග සිය ප්‍රථම සාකච්ඡාව සිදුකරමින් මේ බව ප්‍රකාශ කළේ ය.

රටේ ජිවත් වන ජනතාවට දිනකට ආහාර වේල් තුනක් ලැබෙන ආර්ථිකයක් සැකසීමට වගබලා ගන්නා බව අවධාරණය කළ රනිල් වික්‍රමසිංහ, රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට වැඩිදුර මූල්‍ය ආධාර ලබාදෙන්නැයි ජාත්‍යන්තරයට ආයාචනා කළේ ය.

කඩිනම් ආධාර ලබා ගැනීම සඳහා තමා ඉන්දියාව සහ ජපානය වැනි රටවල් සමග සාකච්ඡා කරන බව පැවසූ අගමැතිවරයා, සාගතයක් ඇති වන්නට ඉඩ නොතබන බවත්, අපි ආහාර සොයා ගන්නා බවත් ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින විරෝධතාකරුවන්ගේ හැඟීම් සමග තමා එකඟවන නමුත්, එය සිදුනොවන්නක් බව ඔහු ප්‍රකාශ කරයි.

“කාටවත් දොස්කීමෙන් කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ, මම මේ තනතුරට ආවේ මිනිස්සුන්ට ආහාර සපයන ආකාරය ගැන වගබලා ගන්න. සැබෑ ආර්ථිකය දැන් අක්‍රීය යි. ඒක බිඳවැටිලා.”

“ඉවසන්න, මම [නැතිවුණු] දේවල් ආපහු ගෙන එන්නම්.” යැයි ඔහු එහි දී ජනතාවට පණිවිඩයක් ද දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *