උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුව වෙනුවෙන් ෆෙඩරල් විසඳුමක් හා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවට සී.වී. විග්නේශ්වරන් සිය පක්ෂයේ මැතිවරණ ප්රකාශනය එළිදක්වමින් පවසයි.
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් දෙමළ ජනතා ජාතික සන්ධානයේ මැතිවරණ ප්රකාශනය එළි දැක්වීම එම පක්ෂ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදු කෙරිණි.
වවුනියාව සංස්කෘතික රංග ශාලාවේ පැවැත් වූ වැඩසටහනක දී සිටි විග්නේශ්වරන් විසින් මෙම පක්ෂ ප්‍රතිපත්ති ප්රකාශනය එළි දක්වන ලදී. ප්‍රධාන කාරනා රැසකින් සමන්විතව පිටු 11කින් යුතුව මෙම මැතිවරණ ප්‍රකාශය සකස් කොට ඇත.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබා ගැනීම, උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුව වෙනුවෙන් ෆෙඩරල් විසඳුමක් ලබා ගැනීම ආදී ප්‍රධාන මාතෘකා යටතේ එම මැතිවරණ ප්රකාශනය සකස් කොට ඇති බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නියෝජිතයෝ පැවැසූහ.