අත්තටු අහිමි වූ බෝයිං යානයේ කතාව සහ එහි ආර්ථික දේශපාලන පැතිකඩ!

March 14, 2019 at 6:36 pm | by admin

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් අවසානයේ ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් අධිකාරිය (FAA) විසින් ලෝකයේ BOEING 737 MAX 8 හා 9 යානා තාවකාලික සේවයෙන් ඉවත්කිරීමේ නිවේදනය (GLOBAL GROUNDING NOTICE) නිකුත් කර ඇත.

ආරංචි අන්දමට මෙම තීරණය වෙනස් කරගැනීම සඳහා Boeing ප්‍රධාන විධායක නිලධාරියා ට්‍රම්ප් හමුවූ බවද සැල වේ. ට්‍රම්ප්ගේ ජනපතිවරණ සටනට ඩොලර් මිලියනයකින් සහය දැක්වූ එක් සමාගමකි Boeing. එනමුත් ට්‍රම්ප් තම තීරණය වෙනස් කලේ නැත. මෙය ලෝකයෙන්ම එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඔහුට ගන්නට සිදුවූ තීරණයකි. FAA හා NTSB හි තීරණ වලට එකඟතාවය හා සහයෝගය දක්වන බව BOEING සමාගම නිවේදනය කර ඇත.

මුලින්ම BOEING 737 MAX යානා අත්හිටවූයේ චීනයයි. එය අනුගමනය කරමින් ඉන්දුනීසියාව, කසාක්ස්තානය, තුර්කිය ඇතුළු යුරෝපයද යානා ඉවත් කරගත්හ. ඇමෙරිකාව මෙම නිවේදනය අවසානයේ නිකුත් කරන්නේ ඇමෙරිකාව සමග අවසානය දක්වා එකටම සිටි කැනඩාවද යානා ඉවත් කිරීම සමගය. දැන් 370ක් පමණ වන 737 max යානා සියල්ල ධාවනය නැවතී ඇත.

මෙය දැරිය නොහැකි තරමේ පාඩුවක් වන්නේ BOEING සමාගමට පමණක් නොවේ. BOEING සමාගම ඇමෙරිකානු ආර්ථිකයේ ප්‍රධානම කොටස් කරුවෙකි. එය ඔස්ට්‍රේලියාව, යුරෝපා ආදී රටවල ආර්ථිකවල වැදගත් කොටස් කරුවෙකි. එහි කඩාවැටීමක් යනු බොහෝ දියුණු රටවලට ආර්ථික බලපෑමක් ඇතිකරන්නකි.

මේ අතර මෙය 737 MAX යානා භාවිත කරන කුඩා ගුවන් සමාගම් දැඩි අසීරුතාවකට පත් කරන්නකි. හැකි ඉක්මනින් මෙම තහනම ඉවත් වේයැයි මේ සැමගේ බලාපොරොත්තුවයි.

මේ අතර සුන්බුන් අතරින් හමුවූ කලුපෙට්ටි (මේවා ඇත්ත වශයෙන් තැඹිලි පාටය) දෙක (FDR හා CVR) ඇමෙරිකානු පරීක්ෂකයන්ට භාර දීම ඉතියෝපියාව ප්‍රතික්ෂේප කර ඇතිබව සැලවේ. සාමාන්‍යයෙන් ඒවා කියවීමට ඉතියෝපියාවේ හැකියාව ඇති නමුත් අනතුරින් දැඩිව හානිවීම නිසා විශේෂ ආයතනයක පිහිට ලබාගැනීමට සිදුව ඇත. මෙය ස්වාධීන පරීක්ෂණ ආයතනයකට දීමට ඉතියෝපියාව බලාපොරොත්තුවේ. මුලින්ම ඉතියෝපියාව එංගලන්තයෙත් ජර්මනියේත් සහාය ඉල්ලුවද ඇමෙරිකාව තරහ කර ගන්නට අකමැති වීම නිසා ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇත. අවසානයේ ප්‍රංශය ඒවා යථා තත්වයට පත්කර විශ්ලේෂණය කරන්නට බාරගෙන ඇත. මෙම අං ඇදීම නිසා වටිනා කාලය දැනටම දින දෙකකට වඩා අපතේ ගොස් ඇත.

ලෝකයේ විශාල වාණිජ ගුවන් යානා නිපදවීමේ ආධිපත්‍යය පවත්වාගෙන යන්නේ ප්‍රධාන ආයතන දෙකකිනි. ඒ ඇමෙරිකාවේ BOEING හා එක්සත් යුරෝපයේ එයාර් බස් සමාගම් ය. රුසියාවේ විශාල නවීන වාණිජ ගුවන් යානා නිපදවුවද ඒවා ලෝක වෙළඳ පොලට ඇතුළු වන්නේ නැති තරම්ය. අතීතයේ පටන් ඉතා විශ්වාසදායක ශක්තිමත් නවීන වාණිජ ගුවන් යානා නිපදවා නම්දරා ඇති රටකි රුසියාව. මේ අතර චීනය මෙම වෙළඳපොල ඇල්ලීමට කලක සිටම දැඩි උනන්දුවකින් පසුවේ. රුසියානු නවීන ගුවන් යානා තාක්ෂණයත් චීන වෙළඳ හැකියාව හා මුල්‍ය ශක්තියත් එකතු වුවහොත් ලෝක වාණිජ ගුවන් යානා ආධිපත්‍යය ලබාගත හැකි යයි චීනය විශ්වාස කරයි.

BOEING 737 max ඉවත් කිරීමට චීනය පෙරමුණ ගත්තේ ඇයිදැයි සමහරවිට සැක මතුවේ. මේ සිදුවීම් චීනයg එක්තරා අයුරකින් වෙස් වලා පැමිණි ආශිර්වාදයක් ලෙස ගැනීමට ඉඩ ඇත. කවුරු නොගත්තත් චීන ගුවන් යානා වෙළඳපොළ පමණක් වුවද විශාල එකකි. චීනය හා රුසියාවට එකතුව මෙම වෙළඳපොළට ඇතුළුවීමට කදිම අවස්ථාවක් උදා වී ඇත.

කෙසේ නමුත් අනතුරු දෙකේ පරීක්ෂණ කටයුතු ඉක්මන්වීම මෙම තහනම නිසා සිදුවේ යයි බලාපොරොත්තු විය හැක. ඒ අතරම ඉතියෝපියාව ස්වාධීන පරීක්ෂකයන් යොදවා ගැනීමද හොඳ දෙයක් යයි සිතිය හැකිය.

චන්න අශෝක රත්නායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස