අකිලගේ ටැබ් පරිගණක ටෙන්ඩරයේ දැවැන්ත වංචාවක් – ගම්මන්පිල

February 28, 2019 at 12:07 pm | by admin

බිලියන හතේ  ටැබ් ලබා දිමේ ටෙන්ඩරයේ විශාල වංචාවක් සිදු වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ පිළිබඳව සඳහන් කළේ අද (27) විපක්ෂයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

2017 මැයි මාසයේ දී උසස් පෙළ සියලුම ළමයින්ට ටැබ් පරිගණක ලබා දීමට ටැබ් 195,148ක්  මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳෙව්වා.  ඒ සඳහා සමාගම් 7ක් මිල ගණන් ඉදිරිපත් කළා. 

නමුත් තාක්ෂණික කමිටුව ඉදිරිපත් කළ සියලුම කොන්දේසි සපුරා තිබුණේ එක් සමාගමක් පමණයි.  ඒ අනුව ප්‍රසම්පාදන කමිටුව ඒ සමාගමට ටෙන්ඩරය ලබා දීමට නිර්දේශ කරනවා.   නමුත් ඇමතිතුමාට ටෙන්ඩරය ලබා දීමට උවමනා වෙනත් සමාගමකටයි.

එම සමාගම ඉදිරිපත් කළ ටැබ් පරිගණකයට එෆ්සීසී ප්‍රමිති සහතිකය නෑ. නමුත් ඒක අනිවාර්ය ටෙන්ඩර් කොන්දේසියක්. 

එෆ්සීසී හෙවත් ෆෙඩරල් කොමියුනිකේෂන් කමිෂන් සහතිකයෙන් තහවුරු කරන්නේ ටැබ් පරිගණක නිසි ප්‍රමිතියෙන් සකසා ඇති බවටයි.  නිසි ප්‍රමිතියෙන් නොවුණාම විදුලි සැර වැදීමේ අවදානමට වගේම භයානක කිරණවලට ගොදුරු වීමේ අවදානමත් තිබෙනවා. 

 ඒ නිසා තමයි එක ටැබ් යන්ත්‍රයක් රුපියල් විසි දහසක් වෙන විට තවත් ටැබ් යන්ත්‍රයක් රුපියල් ලක්ෂ දෙකක් වෙන්නේ.  ටැබ් පරිගණකයෙන් විහිදෙන කිරණවලින් වඳ බව වගේම පිලිකාව සහ ඇස් පෙනීම දුරවල වීමත් සිදු විය හැකියි.

ජනාධිපතිතුමන් සහ මුදල් අමාත්‍යතුමන් තමන්ගේ නිරීක්ෂණ එවමින් මෙම ටෙන්ඩරය අවලංගු කරලා අලුතෙන් ටෙන්ඩර් කැඳවන්න කියලා නිර්දේශ කරනවා.

නමුත් අවාසනාවට අධ්‍යාපන මැතිතුමන් මේ සියලු දෙනාගේම කනෙන් රිංගලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා තමන්ට අවශ්‍ය සමාගමට මේ ටෙන්ඩරය ලබා දීමට පෙබරවාරි මාසයේ මුල් සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගන්නවා.

ජනාධිපතිතුමනි, හිතවතා වුණත් අගමැතිතුමනි, වහාම මැදිහත් වී මෙම ටෙන්ඩරය නවත්වා අපේ ළමා පරපුර භයානක ලෙඩ වලින් බේරා ගන්න මෙන් ඉල්ලා සිටිනවා.  ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසමට මේ පිළිබඳ පැමිණිලි කිරීමට මම බලාපොරොත්තු වෙනවා යනුවෙන් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *