ජයම්පතිගේ පක්ෂය එජාපෙන් ඉවත් වී අනුරට එකතු වෙයි! නමුත් දෙවන මනාපය සජිත්ට දෙන්න සූදානම්!

September 27, 2019 at 9:09 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී අනුර කුමාර දිසානායකට සහය පළ කිරිමට තීරණය කර තිබේ.

එක්සත් වාමාංශික පෙරමුණ හෙවත් සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම් මධ්‍යම කාරක සභාව රැස්වී එම තීන්දුව ගත්බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක පැවසීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරනු ලබන අනුරකුමාර දිසානායකට සහයෝගය දෙමින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරිමට ද මධ්‍යම කාරක සභාවේදී තීන්දු කළ බව හෙතෙම කීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ජයම්පති වික්‍රමරත්න කීවේ අනුරකුමාර දිසානායකට ඡන්දය ලබාදී දෙවන මනාපයක් ලකුණු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

දෙවන මනාපය ගෝඨාභයට එරෙහි ශක්තිමත්ම අපේක්ෂකයා වෙනුවෙන් සලකුණු කරන්නැයි ද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙහි මෙන්ම යෝජිත නව ව්‍යවස්ථාවේ දී කර්තෘවරයා වශයෙන් සැලකෙන ජයම්පති වික්‍රමරත්න එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි. එසේම ෆෙඩරල්වාදියෙකි.

ජනතා විමුක්ති පෙරමුණට සිය ප්‍රථම කැමැත්ත ලබා දී දෙවන මනාපය එජාප අපේක්ෂකයාට ලබා දෙන ලෙස ජවිපෙ සමාජමාධ්‍ය කණ්ඩායම් ඔස්සේ සිය පාක්ෂිකයන්ට දැනුම් දී ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වුවද 2015 62 ලක්ෂයේ ජනවරම නියෝජනය කළ ජවිපෙ මෙන්ම එක්සත් වාමාංශික පෙරමුණ ද මේ වන විට සජිත්ට අහිමි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණට රට පුරා ඡන්ද ලක්ෂ 05-06ක් පමණ ඇතැයි ගණනය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස