කරන්නාගොඩට සිතාසි දෙන්න බැරිවුණ CIDය ලැජ්ජ වෙන්න ඕන! – මහාධිකරණය

February 24, 2020 at 12:31 pm | by emanisa.lk

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (24) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරනයේ දී කැඳවා තිබුණා.

ඒ 2008 සහ 2009 යන වසරවලදී කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙනි.

එහිදී හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද දින ද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට සිතාසි භාරදීමට නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

14 වන විත්තිකරු වන කරන්නාගොඩට සිතාසි ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැජ්ජා විය යුතු බව පැවසූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට අධිකරණයේ පෙනී ලෙස යළිත් නොතීසි නිකුත් කළේය.

එම සිතාසි ඔහුගේ පදිංචි ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මාර්ගයෙන් යොමු කරන ලෙසට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

නාවික හමුදාවේ නිළධාරීන් වන ඩී.කේ.පී. දසනායක, සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, ඩිලන්ක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු, රාජපක්ෂ පතිරනලගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්‍රිආරච්චිගෙ ගාමිණී, චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්, උපුල් චමින්ද, නන්දප්‍රිය හෙට්ටිහැන්දි සහ සම්පත් ජනක පෙරේරා යන අය අද අධිකරණයේ පෙනී සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස