අලුත් හෙටක් පතන ශ්‍රී ලාංකිකයන් අතර හින්දුුු ප්‍රජාව සිටීම සතුටක්! – ජනපති මහ ශිව රාත්‍රියට සුබ පතමින් කියයි..

February 21, 2020 at 12:56 pm | by emanisa.lk

ලාංකික හින්දු ප්‍රජාව ද මව්බිමේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටිනු දක්නට ලැබීම රාජ්‍ය නායකයා වශයෙන් ඉමහත් සතුටට පත්වන කරුණක් බව සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ එම පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.

ලොව පුරා හින්දු ලබ්ධිකයන් උපවාස ශීලය සමාදන් වී මෝහාන්ධකාරය පරදා, ප්‍රඥාව ජය ගැනීම සලකුණු කරන මහා ශිව රාත්‍රී දින උ‍ළෙලට පේවී සිටින ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන් සමග මමද සතුටින් එක්වෙමි.

හින්දු ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවවලින් එකක් වන මහා ශිව රාත්‍රිය පුරා සිදුකරන අනේකවිධ ආගමානුකූල ක්‍රියාකාරකම් තුළින් මිනිසා තුළ නිසර්ගයෙන් දක්නා දුර්ගුණ ඉවත්ව මානසික පවිත්‍රතාව අත්පත් කරගත හැකි බව හින්දු බැතිමත්හු විශ්වාස කරති.

අනේකවිධ කැලඹිලි, ඝට්ටන මැද ඉදිරියට යන ලෝකයක මිනිසාට මානසික ශාන්තිය උදාකර දෙන්නේ ආගමයි. නව ජවයකින් අලුත් හෙටක් පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටින ශ්‍රී ලාංකිකයන් අතරට අපගේ සහෝදර දෙමළ ප්‍රජාව ද අයත් වෙති. අන්තර් – ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා කුළුගන්වමින් රටේ සෑම ජන කොටසක්ම සිය මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටිනු දැකීම රටේ නායකයා වශයෙන් මට මහත් සතුටකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස