ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල පළාතේ රොත්ත පිටින් පොහොට්ටුවට!

September 4, 2019 at 11:05 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් සමග ඉතාම නුදුරු දිනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නිමල් සිරිපාල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සමග මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා කර ඇති අතර ඊයේ ශ්‍රීලනිප පක්ෂ සම්මේලනය අවස්ථාවේ ඔහු සිදු කළ කතාව ද සිය අනාගත දේශපාලන තීන්දුව පිළිබඳ සාක්ෂියක් බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එහිදී නිමල් සිරිපාල ප්‍රකාශ කළේ ශ්‍රීලනිපයට අද ජය ගැනීමේ හැකියාවක් නොමැති වුවද රජුන් තැනීමේ හැකියාව ඇති බවය.

එසේම සිය දේශපාලන සතුරා එජාපය බවත් රනිල්ගේ එජාපය හෝ සජිත්ගේ එජාපය හෝ කරූගේ එජාපය සමග ශ්‍රීලනිපයට එකතු වීමේ හැකියාවක් නොමැති බව ද පැවසීය.

එහෙයින් පොදු සතුරා පරාජය කිරීමට ශ්‍රීලනිපය පොදුජන පෙරමුණට සහාය ලබා දිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මෙය සිදුවන්නේ ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට සාකච්ඡා කරන පසුබිමක එස්.බී. සහ ඩිලාන් වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොදුජන පෙරමුණට ගැනීම ශ්‍රීලනිප මෙන්ම විමල් වීරවංශ වැනි අයගේත් විවේචනයට ලක්වන පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස