කොවිඩ් වසංගතයට එරෙහිව අපේ සාම්ප්‍රදායික දැනුම හා සාම්ප්‍රදායික වෙදකම භාවිත කළ යුතු මොහොත එළඹ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.
ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
අපි අද මේ විවාදයට බදුන් කරන්නේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස බෙදී එකිනෙකාට චෝදනා කරගැනීමකින් තොර ව පොදුවේ මව්බිමේ පුරවැසියන් ගැන සිතා සහයෝගයෙන් එකමුතුව කටයුතු කළ යුතු අභියෝගයක්.
එ තැන දී අපි මතක් කරලා දෙන්න අවශ්‍ය වෙනවා මේ කොවිඩ් රෝගයට අපේ රට ගොදුරු වෙන මොහොතේ, නැත්තං ලෝකය ගොදුරු වූ මොහොතේ, එක්සත් ජාතික පක්ෂය එදා 2020 ජනවාරි මාසයේ දී, සමගි ජන බලවේගයත් එදා ඒ පක්ෂය තුළ ම යි එදා රැඳි සිටියේ, රටට ප්‍රකාශ කළේ චීනයේ අපේ ඒ උවදුර හමුවේ අසරණ වෙලා ඉන්න සිසුවන් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමෙන් වැළකෙන්න කියලා. එදා එ වැනි ස්ථාවරයක ඉදං තමයි මේ විපක්ෂය, රජය ගන්නා පියවර විවේචනය කරන්න එළඹුනේ.
අපි දන්නවා ඒ පළමු වැනි කොවිඩ් රැල්ල මර්දනය කරපු ලෝකයේ පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වුණා. දෙ වැනි කොවිඩ් රැල්ලත් අපි සාර්ථකව ජයගන්න, ලොකෙට සාපේක්ෂව අපේ රටේ ජනතාවට ආරක්ෂාව සපයන්න සමත්වුණා කියන කාරණය. දැන් මේ තුන් වැනි කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් අපේ රට ජයග්‍රහණයන් ලබාගෙන තිබෙනවා ද? නැත්තිනම් පරාජයන්ට මුහුණ දී සිටිනවා ද?
මම උත්සාහ දැරුවා ලෝකය හැටියටත් ඊ ළඟට ප්‍රධාන රටවල් පහක් සමඟත්- ඉන්දියාව, ඇමරිකාව, ඉතාලිය ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කරනවා ය යි සැලකෙන නවසීලන්තය සහ චීනය සමඟත් අපේ රට යම් සංඛ්‍යාත්මක දත්ත ඇසුරු කරගෙන සැසඳීමක් කරන්න. ලෝකය හැටියට ගත්තොත් එහෙම ලෝකයේ මේ වන විට මුළු ලෝක ජනගහනය කෝටි හත්සිය අසුවකුත් පහළොස් කෝටි හතලිස්නව ලක්ෂ හතලිස්හත් දහස් තුන්සිය තිස්අටක් රෝගී වෙලා තියෙනවා.
අපි ඒක ජනගහණයට රෝගී අනුපාතය විදියට බැලුවොත් එහෙම 1.9865%. ඉන්දියාව හැටියට ගත්තොත් එහෙම ඉන්දියාවේ එකසියතිස්අට කෝටියකට අධික වූ ජනගහණයකින් රෝගීන් දෙකෝටි හයලක්ෂ පනස්අටදහස් දෙසීය තිස්හතරක් වෙනවා. මේක අපි ප්‍රතිශත හැටියට බැලුවොත් එහෙම 1.497%. කාලය ගතවන නිසා මේ සංඛ්‍යා දත්ත සියල්ල කියන්නේ නැතිව අනුපාත හැටියට සැලකුවහොත්, අපි ලෝකයත් එක්ක ගත්තාම, ලෝකයේ ජනගහණය රෝගී වූ ප්‍රතිශතයට වඩා අපේ රට 3.7 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. අපි ඉන්දියාවත් එක්ක ගත්තොත් එහෙම ඉන්දියාවේ ඒ ප්‍රතිශතයට වඩා 2.8 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාව සමග සංසන්දනය කළොත් අපි ඊට වඩා දහඅට ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරෙනවා යි පිළිගැනෙන නවසීලන්තය සමඟ සැසඳුවහොත් අපි ඊට වඩා 9.9 ගුණයක් පසුපසින් සිටින්නේ.
ඒ වගේ ම අපි සලකා බැලුවොත් ලෝකයේ ජනගහනයට මරණ සිදු වූ අනුපාතය, ඒ අනුපාත හැටියට ගත්තත් ලෝකයේ ම අනුපාතය වෙන්නේ 0.0415%ක්. ඉන්දියාව ගත්තොත් ඒ අනුපාතය වන්නේ, 0.0164%ක්. ඒ වගේ ම අපි ඇමරිකාව ගත්තොත් ඒ අනුපාතය 0.1790%ක්. අපි ලංකාවේ අනුපාතය ගත්තොත්, ඒ අනුපාතය වෙන්නේ 0.0033%ක්. අපි ජනගහනයෙන් රෝගී වූ අනුපාතය ගත්තොත් එහෙම අපි ලෝකයට වඩා 12.5 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාවත් එක්ක ගත්තොත්, ඉන්දියාවට වඩා 4.9 ගුණයකින් නැත්නම් පස්ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාවත් එක්ක සැසඳුවොත් අපි 54 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. හැබැයි ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරුණු නවසීලන්තය සමඟ සැසඳුවහොත්, අපි ඊට වඩා ප්‍රතිශතාත්මක වශයෙන් 6.6 ගුණයක් පසුපසින් සිටින්නේ.
හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, රෝගී වූ සංඛ්‍යාවෙන් මරණයට පත් වූ සංඛ්‍යාවේ අනුපාතය අපි ගත්තොත් ලෝකය හැටියට ඒ අනුපාතය 2.09%ක්. ඇමරිකාවේ මේ අනුපාතය 1.78%ක්. ඉන්දියාවේ එම අනුපාතය 1.09%ක්. නවසීලන්තයේ මේ අනුපාතය 0.99%ක්. ලංකාවේ මේ අනුපාතය ඒ සියල්ලටම වඩා, නවසීලන්තයටත් වඩා ඉතා ම හොඳ අගයක පවතිනවා. ඒ 0.61%ක්.
මේක සිදු වුණේ කුමක් නිසා ද යන්න, නැත්තං මේ තත්ත්වය අපි උදා කරගත්තේ කෙසේ ද යන්න අවබෝධ කරගැනීම ඒ තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීමට, නැත්තං වර්ධනය කරගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක්.
ඒ සඳහා නිදහස් සෞඛ්‍ය සේවය පී.එච්.අයි මහත්වරු න්ගේ පටන්, හෙද-හෙදියන් ගේ පටන්, සෞඛ්‍ය සේවිකාව ගෙන් පටන්, වෛද්‍යවරුන් ගේ පරිපාලකයින් ගේ සහ ආරක්ෂක අංශවල දායකත්වය හේතුසාධක වූ බවට සැකයක් නැහැ. හැබැයි එ වැනි ම ක්‍රියාකාරිත්වයක් සහිත, නැත්තං ඊටත් වඩා ක්‍රියාකාරිත්වයක් සහිත නවසීලන්තය, චීනය වගේ රටවල පවා රෝගීන් හා මරණ අතර අනුපාතයේ වඩා හොඳ අගයක් පවත්වා ගැනීමට අපේ රට සමත්වී ඇත්තේ කෙසේ ද? උෂ්ණත්වය ද? නැතිතම් අපේ ආහාර රටාව ද? නැතිනම් අපේ රටේ ජනයා භාවිත කරන දේශීය ඖෂධ- කොත්තමල්ලි, පස්පංගුව, සුවධරණියවල ගුණාංගය ද? එසේත් නැත්තං හුමාලය ඇල්ලීම, නැත්තං දේශීය ශාකසාරවලින් දුම් ඇල්ලීම ද? එහෙමත් නැත්තං ධම්මික පැණිය ද?
ධම්මික පැණිය ගැන කියනවිටත් ඔබ සිනාසෙන්න පුළුවන්. ඔහු ගේ දැනුම ඔබ ප්‍රශ්න කරන්න පුළුවන්. ඔහු ගේ සාදාචාරය ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි අපි දන්නවා අයිසැක් නිව්ටන් ගත්තත් අදටත් අපි ප්‍රවාහනය සඳහා චලිතය පිළිබඳ ඔහු ගේ නියම යොදා ගන්නවා. ඔහු ඊතර් මඟින් අමරණීයත්වය ලබා ගැනීම සඳහා පරීක්ෂණ කළා. ඒ නිසා අපි ඔහු පිස්සෙක් යැ යි කියා ඔහු සොයාගත් විද්‍යාත්මක දැනුම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි දන්නවා බෙන්සීන් අනුව සොයාගත් රසායනික විද්‍යාඥයා, ඔහුට එය හීනෙන් ලබාදුන් බව, එහෙමත් නැත්නම් දෙවියන් ඒ සඳහා මඟ පෙන්වූ බව ප්‍රකාශ කළ බව. ඒ පළියට, ඒ දැනුම අපි ප්‍රතික්ෂේප කරන්නේ නෑ.
දැන් චීනයේ සිනොවැක් නැත්නම් සිනොෆාම් එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත නොවන විට බටහිර වෙද්‍යවරු ඇතුළු බටහිර දැනුම පිළිගන්නා අයත් මෙ තැන දී එක්තරා ආකරයකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාධාරණත්වය නැත්නම් යුක්තිසහගතභාවය පිළිබඳ ප්‍රශ්න මතු කරනවා. අපි දේශීය වෙදකම සම්බන්ධයෙන්, දේශීය දැනුම සම්බන්ධයෙන්, ඒ කාරණය ඉෂ්ට නොවන විට, ඒ ප්‍රශ්න කිරීම කෙරෙන්නේ නෑ. උණු ජලය නැත්නම් හුමාලය මේ රෝගයට ප්‍රතිකාරයක් වශයෙන් කෙරෙන ප්‍රචාර පිළිබඳ නිශ්චිත යමක් ප්‍රකාශයට පත් නොකරන්නේ ජලය මගින් වෙළෙඳ ආධිපත්‍යයන්ට ලාභ ඉපැයීමට නොහැකි නිසා ද?
ඒ වගේ ම චීනය නිරන්තරයෙන් උණු තේ පානය කිරීම අපිට ශ්‍රී ලංකාවේ යොදාගත නොහැකි ද? අපි වාණිජ වශයෙන් හිතුවත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණවල දී ප්‍රමුඛතාව ගතයුතු නැති ද?
දේශීය ආහාර සම්බන්ධයෙන්, දේශීය පළතුරු සම්බන්ධයෙන් ඇති දැනුම මේ රෝගයට එරෙහිව යොදාගත නොහැකි ද? ප්‍රතිශක්තිකරණය වැඩීවීමට පොළොස්, රතු ළූණු, සුදු ළූණු, නිවිති, කහ, ආදිය යොදාගත හැකි බවට ඇති දැනුම ගැන ඇයි අපේ පර්යේෂණ අංශ ක්‍රියාත්මක නොවෙන්නේ? ඇයි අදටත් අපි අසමත් වෙලා තියෙන්නේ කොවිඩ් පාලනයේ ජනධිපති බලකායට දේශීය දැනුම නියෝජනය කරන, දේශීය වෙදකම නියෝජනය කරන නියෝජිතයෙක් පත්කර ගැනීමට?
අඹ, අන්නාසි, දොඩම් ආදී පළතුරු සම්බන්ධයෙනුත් රජයේ මැදිහත් වී, එ මඟින් මේ රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්වත් කළ යුතු යි නේ ද?
මේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා අපේ රජය මැදිහත් වී කටයුතු කරනු ඇතැයි කියා.
චීනයෙන් රුසියාවට ආධාර පිණිස ගිය ඒ නියෝජිත පිරිසට චීනයේ සාම්ප්‍රදායික වෛද්‍යවරු ති දෙනෙක් ඇතුළත් වූ බව සඳහන් වෙනවා. මේ අපේ සාම්ප්‍රදායික දැනුම හා සාම්ප්‍රදායික වෙදකම මේ රෝගයට එරෙහිව භාවිත කළ යුතු මොහොත යි. ඒ සඳහා අපේ රට ප්‍රමාද වී හෝ කටයුතු කළ යුතු ව තිබෙනවා.
මේ ඒ සඳහා නොපමාව පියවර ගතයුතු මොහොත යි.