කෑගලු කොරෝනා ඔසුවට ආයුර්වේද අනුමැතිය හිමි වුණා! ඕනෑ ම අයකුට දැන් ඖෂධය ගන්න පුළුවන්! – රමේෂ් පතිරණ

December 22, 2020 at 12:32 pm | by emanisa.lk

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ අද(22) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඒ බව තහවුරු කළේ ය.

ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රධානත්වය දරන සූත්‍ර කමිටුවේ ප්‍රධාන කාර්ය වන්නේ, දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවසර ලබා දීම ය.

පසුගිය දිනවල දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේදී ඔවුන් ඉදිරියේ නිෂ්පාදනය කළ ඖෂධය ප්‍රමිතියට අනුකූලව සිදුකර ඇති බවට වූ වාර්තාව ද එහිදි ඉදිරිපත් විය.

ඖෂධය සඳහා මේ වන විටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබාදීමට අනුමැතිය ලබා දී ඇති හෙයින් ස්වකීය කැමැත්ත මත එම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව ඇති ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය ආචාරධර්ම කමිටුවක් මගින් අනුමත විය යුතු බවත්, අදාළ ආචාරධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු හෙට(23) ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාරධර්ම කමිටුවෙන් අනුමැතිය ලැබුණු පසු මෙම පැණිය විද්‍යාත්මක පරීක්ෂණයකට භාජනය කිරීමට බලාපොරොත්තු වන බව ඇමැති රමේෂ් පතිරණ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස