රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නෑ! පළාත් සභා හැඟීම් පිළිබඳ උවමනාවක් විතරයි! – අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

July 4, 2020 at 10:26 am | by emanisa.lk

සන්නද්ධ ව්‍යාපාරය අත්හැර වාමාංශික කඳවුර සමඟ අත්වැල් බැඳගැනීම සහ උතුරු පළාතේ ජනතාවගේ ගැටලු ඉදිරි මැතිවරණය සහ දෙමළ ජනතා අපේක්ෂා මෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ඊ.පී.ඩී.පී. නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂක, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ කළ කතාබහකි.

*පසුගිය කාලයේ EPRLF සංවිධානයේ යාපනය දිස්ත්‍රික්කය භාරව සිටි සන්නද්ධ නායකයා වන ඔබ අද වාමාංශික පෙරමුණ සමඟ එක්ව කටයුතු කරනවා. අතීතයේ සහ වර්තමානයේ සිදුවීම් ඔබ දකින්නේ කො‍හොම ද?

අප ආයුධ සන්නද්ධව දේශපාලනයේ යෙදුණ කාලයේත් වාමාංශික පැත්තට නැඹුරුව තමයි කටයුතු කළේ. පසුගිය කාලයේ පැවති ආණ්ඩුවලින් අපට සිදුවුණු අක්‍රමිකතා සහ යම් යම් අඩුපාඩුකම්, කුඩම්මාගේ සැලකිලි නිසා තමයි අපට මේ වගේ දෙයකට යොමුවීමට සිදු වුණේ. උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිකරණ සහ අපේ ප්‍රදේශවල සංවර්ධනය පිළිබඳව කිසි⁣වෙක් සොයා බැලුවෙ නැහැ. ජාතිවාදී අරගල ආරම්භ වුණා. මෙවැනි කරුණු තමයි අපට එවැනි ගමනක් යාමට ප්‍රධාන හේතුවක් වුණේ. නමුත් අප ඉදිරියට ගියේ වාමාංශික ව්‍යාපාරයක් ලෙසිනුයි.

මෙය කොටි සංවිධානය වැනි ව්‍යාපාරයක් නොවේ. දකුණේ කිසියම් සමාජමය අඩුපාඩුකම් නිසා 1971 සහ 1988, 89 කාලයේ දී ජනතා විමුක්ති පෙරමුණ කැරලි ඇති කළා. එවැනි අඩුපාඩුකම් අපටත් සිදු වුණා. අප එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සාමදානයෙන් සහ සහජීවනයෙන් ගමනක් යාමටයි අපේ අරමුණ තිබුණේ. ඒ නිසා අප සමඟ එකතුවීමට කැමති සිංහල වාමාංශික බලවේග සොයාගෙන ගියා. එවැනි බලවේග විශාල වශයෙන් අපට හමුවුණේ නැති නමුත් ඒ කාලයේ විකල්ප කණ්ඩායම නමින් දකුණේ ක්‍රියාත්මක වුණු කුඩා කණ්ඩායමක් අප සමඟ එකතු වුණා. අප ඒ අය සමඟ ඉදිරියට ගියා. ඉන්දු ලංකා ගිවිසුම දක්වා අප එම ගමන යන විට අපට තේරුණා ඉන්දු ලංකා ගිවිසුම ඉතා හොඳ බව. ඒ නිසා අප ආයුධ පැත්තකට දාලා ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යායුතුයි යන නිගමනයට එළැඹුණා. ඒ කාලයේ ඊරෝස් සංවිධානය හෝ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය හෝ ජාතිවාදී හැඟීමකින් කටයුතු කළේ නැහැ.

*ඔබ ලෙබනන් රාජ්‍යයෙන් සටන් පුහුණුව ලැබූ දක්ෂ වෙඩික්කාරයකු ව‍ගේම කුංෆු වැනි සටන් ක්‍රම ප්‍රගුණ කළ අයෙක් බව මා අසා තිබෙනවා. මෙය ඇත්තක් ද?

මේවා සියල්ල අතීතයේ සිදුවුණ පරණ සිදුවීම්. මේවා යළිත් මතක් කරන්න කැමැත්තක් නැහැ. අපේ දේශපාලනය ජාතික මට්ටමෙන් තිබෙන නිසා සහ මා එම දේශපාලනයේ නියැළෙන නිසා පැරණි දේවල් හාරා ඇවිස්සීම සුදුසු නැති බවයි මගේ ස්ථාවරය.

*ඔබේ පියා සහ මාමා වන සිවදාසන් මහතා එවකට දැඩි කොමියුනිස්ට්වාදීන්. ඔබ ඇයි ඔවුන් ගිය අඩිපාරේ නොගියේ?

කොල්වින් ආර්.ද.සිල්වා මහතා සහ වාමාංශික පැත්තේ අය ඒ කාලයේ කිව්වේ එක භාෂාවයි රටවල් දෙකයි. එසේ නොමැති නම් භාෂා දෙකයි එක රටයි කියා. නමුත් ඉන්පසු එයාලගෙ ස්ථාවරය කිසිදෙයක් එළියට ආවේ නැහැ. ඔවුන් මගහැර ගියා. එම තත්වය මත තමයි අපට EPDP වැනි පක්ෂයක් හදා ගැනීමට සිදු වුණේ. අප ආයුධ සන්නද්ධව සටන් කළ අවදියේ දකුණේ ප්‍රගතිශීලි බලවේග සමඟ මේ ගමන යායුතු බව අපගේ අරමුණ වුණා. නමුත් එවැනි බලගතු ප්‍රගතිශීලි බලවේගවල සහාය අපට ලැබුණේ නැහැ. ඒ නිසා අප ඉදිරියට ආවේ විකල්ප කණ්ඩායම් සමඟයි.

*ඔබ LTTE ට විරුද්ධව කටයුතු කළ නිසා ඔබට එම සංවිධානයෙන් දැඩි මරණ තර්ජන තිබුණා. ඔබගේ ජීවිතය අනූනවයෙන් බේරුණු අවස්ථාත් තිබුණා?

අප කොටි සංවිධානයට විරුද්ධව කටයුතු කළ බව කිව නොහැකියි. අප හැමදාම බැලුවේ ජාතික සංහිඳියාව සහ අනෙකුත් ජාතීන් සමඟ එක්සත්භාවයෙන් යුතුව කටයුතු කිරීමටයි. එසේ කටයුතු කිරීමෙන් අපගේ ප්‍රශ්න විසඳා ගත හැකි යැයි අප විශ්වාස කළා. එයට විරුද්ධව ඔවුන් වැ‍ඩ කළ නිසයි අප‍ට ඔවුන් සමඟ යම් යම් විවේචන ස්වභාවයන් ඇති වුණේ. අප ඒ කාලෙම කිව්වේ කොටි සංවිධානය ‍යන ගමන අපගේ ජනතාවත් විනාශ කරගෙන කොටි සංවිධානයත් විනාශ කරගෙන යන ගමනක් කියලා. අද සිදුව තිබෙන්නේ එයයි. ඒ නිසා අපගේ ස්ථාවරය අප කියන විට ඔවුන් අපව ඝාතනය කරන්න නොයෙක් අවස්ථාවල උත්සාහ කළා.

*කළුතර සිරමැදිරියට ගිය වෙලාවකදීත් ඔබ ත්‍රස්තවාදී රැඳවියන්ගෙනුත් මාරාන්තික ප්‍රහාරයක් එල්ල වුණා?

ඔව්. මේ ජීවිතේ නැවත ඉපදුණා වගේ තමයි.

*ඔබ ප්‍රගතිශීලී ව‍ගේම සන්නද්ධ ව්‍යාපාරයටත් සම්බන්ධ වී සිටියා. දැන් ඔබ සන්නද්ධ ව්‍යාපාරය ප්‍රතික්ෂේප කොට ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් තිබෙනවා?

ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව අපට වැටහීමක් සහ විශ්වාසයක් ඇති වුණා ජාතික ව්‍යුහයට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් තුළින් අපේ ගැටලු විසඳා ගැනීමට හැකි බව. ඒ නිසා අප ප්‍රජාතන්ත්‍රවාදය තෝරා ගත්තා.

* වර්තමාන ආණ්ඩුවෙන් උතුරේ ප්‍රශ්නවලට විසඳුම් ලැබේ යැයි ඔබ විශ්වාස කරනවා ද?

ඔව්. පවතින රජය පිළිබඳව විශ්වාසයක් සහ හොඳ අවබෝධයක් අපට තිබෙනවා. මේ රජය අපේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න ටික විසඳන බවට අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. නමුත් ඒ සඳහා අපට දෙමළ ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. දෙමළ ජනතාවගේ සහයෝගය ප්‍රමාණවත්ව ලැබෙනවා නම් මේ රජයෙන් ත‍ව තවත් විසඳුම් ලබා ගත හැකියි. අනෙක් අය දේශපාලන විසඳුමක් පිළිබඳව කියද්දි අප කියන්නේ පළාත් සභා ක්‍රමය තිබෙන බව. 13 වන සංශෝධනය මඟින් පළාත් සභා ක්‍රමය නිසියාකාරව ක්‍රියාත්මක කළ ‍හොත් ජනතාවගේ ගැටලු විශාල වශයෙන් විසඳා ගත හැකියි.

දෙමළ දේශපාලන පාර්ශ්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්වීමට පෙර දෙමළ ජනතාව අතර ප්‍රචලිත කළේ මෙය මහජාතිවාදී ආණ්ඩුවක් වන බව සහ එතුමන්ලාගේ ක්‍රියාකලාපය එවැනි තත්වයකට යා හැකි බවයි. නමුත් ජනාධිපති තුමාගේ පදවි ප්‍රාප්තිය අනුරාධපුරයේ දී සිදුවුණ මොහොතේ දී එතුමා පැහැදිලි ප්‍රකාශයක් කළා, “මට මෙම ජනාධිපතිවරණයේ දී බහුතර ඡන්ද ලැබුණේ මේ රටේ බහුජාතික ජනතාවයි. දෙමළ හා මුස්ලිම් ජනතාව මා ගැන විශ්වාසය තබා ඒ අය‍ගේ ඡන්දය මට ලබා දුන්නේ නැහැ. නමුත් මම මේ රටේ සියලු දෙනාගේම ජනාධිපතියි. බහුතර ජාතීන් හෝ වේවා සුළුතර ජාතීන් හෝ වේවා මම සියලු දෙනාගේම ජනාධිපතියි” කියා . අප එය විශ්වාස කරනවා.

*උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. ළමා ශ්‍රමිකයන් ද සිටිනවා. මේවාට ඔබ දෙන විසඳුම් මොනවා ද?

උපාධිධාරීන්ගේ ප්‍රශ්න තිබෙනවා. නමුත් එය රටේ සියලුම පළාත්වල තිබෙන ප්‍රශ්නයක්. ළමා ශ්‍රමිකයන් දැන් එහි දක්නට ලැබෙන්නේ නැහැ. අප සහ රජය අතර පැහැදිලි අවබෝධයක් තිබෙන නිසා දෙමළ ජනතාව අපට ප්‍රමාණවත් ඡන්දය ලබා දී ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලබා දුන ‍හොත් ‍අපට මෙම ප්‍රශ්නය ඉතා පහසුවෙන් විසඳා ගත හැකියි. සියලු දෙනාටම රජයේ රැකියා ලබා දිය නොහැකියි. ඒත් අපට උතුරේ රැකියා අවස්ථාවන් බිහි කළ හැකියි. කර්මාන්ත ශාලා, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය වැනි අංශ සහ ස්වයං රැකියා උත්පාදනය කළ හැකියි.

එමෙන්ම එම ප්‍රදේශවල පැවති කර්මාන්ත ශාලා නැවත ක්‍රියාත්මක කිරීමෙන් සහ නව කර්මාන්ත ශාලා බිහි කිරීමෙන් රැකියා විශාල සංඛ්‍යාවක් මේ ප්‍රදේශවල ජනතාවට ලබා දිය හැකියි. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යා‍යංශ ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා, ඒවා හරහාත් අපට ජනතාවට රැකියා ලබා දිය හැකියි. දැන් තිබෙන්නේ භාරකාර ආණ්ඩුවක්. ඒ නිසා වැඩිපුර දේවල් කර ගැනීමට හැකියාවක් නැහැ. නමුත් ධීවර ප්‍රජාව තුළ විශ්වාසයක් ඇති කිරීමට මෙම කාලසීමාවේ දී අප‍ට හැකියාව ලැබුණා. ඉදිරියේ දී ධීවර ප්‍රජාවගේ ගැටලු සහ යටිතල පහසුකම් නැංවීමට වැඩපිළිවෙළක් සැකසීමට අප බලාපොරොත්තු වෙනවා.

කරදිය සහ මිරිදිය අංශ දෙකේම ස්වයංපෝෂිත තත්වයක් ඇති කිරීමට සහ එම මත්ස්‍ය අස්වැන්න අපනයනය කිරීමට කටයුතු කරන අතර ඒ හරහා විදේශ විනිමය විශාල වශයෙන් ලංකාවට ගෙන ඒමට හැකි වේ යැයි අප විශ්වාස කරනවා. ඒ සමඟම ව්‍යවසායකයන් සහ රැකියා අවස්ථා බොහොමයක් ද බිහි කළ හැකියි.

*ඔබේ පක්ෂයෙන් කෙනකු ඉවත් වී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙනවා නේ ද?

පෞද්ගලිකව අපේක්ෂකයකු මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. නමුත් අපගේ පක්ෂය දෙකඩ වී නැහැ.

*ඔබ පසුව පක්ෂයට නව නායකයකු බිහි කොට තිබෙනවා ද?

මම දේශපාලනය කිරීමට බලාපොරොත්තු වන්නේ තව වසර පහක් පමණයි. ඉන් පසු පක්ෂය විසින් ඉදිරි පියවර අරගෙන ඊළඟ නායකයා පත් කර ගනීවි. පක්ෂයක් කියන්නේ ‍දුම්රියක් වගෙයි. කොළඹ කොටුවෙන් පිටත් වී කන්කසන්තුරෙයි දක්වා යනවා වගෙයි. ඇතැම් විට පිරිසක් කොටුවෙන් දුම්රියට ගොඩ වී කන්කසන්තුරෙයි දක්වාම යනවා. තව පිරිසක් කොටුවෙන් නැඟ අතරමඟ බහිනවා. දිගටම යන අය රැඳී සිටීවි. අනෙක් පක්ෂවල මෙන් අප පක්ෂයේ නායකත්ව අර්බුද ඇතිවන්නේ නැහැ.

* පළාත් සභා ක්‍රමය වාර්ගික අර්බුදයට විසඳුමක් යැයි ඔබ විශ්වාස කරනවද?

ජනවාර්ගික ප්‍රශ්නයක් යැයි කිව නොහැකියි. මුල් කාලයේ දී දකුණු ප්‍රදේශ‍යෙන් තමයි ජාතිවාදී ප්‍රශ්න මතු වුණේ. අපේ දෙමළ ජනතාව එය ලොකුවට මවාපෑමට පටන් ගත්තා. දැන් එය අවසන් වෙමින් පවතිනවා. නමුත් මට හැඟී යන්නේ පළාත් සභා ක්‍රමය යනු අපගේ දේශපාලනික සහ අනෙකුත් ප්‍රශ්නවලට විසඳුමක මූලාරම්භය වන බවයි. එතනින් පටන්ගෙන අපට ඉදිරියට යා හැකියි. 2009 යුද්ධය නිම වූ පසු ජනතාවට කිසිදු ප්‍රශ්නයක් නැහැ. දකුණේ අයට උතුරට යන්නත් උතුරේ අයට දකුණට යන්නත් පුළුවන් වගේම ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඕනෑම කෙනකුට යා හැකියි. නමුත් යම් යම් ආණ්ඩුවලින් සැලසුම් සහගතව කරනු ලබන යම් යම් දේවලට අප විරුද්ධව විවේචන ඉදිරිපත් කරනවා.

*කොවිඩ් -19 වසංගත තත්වයේදී සෞඛ්‍ය අංශ සහ අනෙකුත් සියලු අංශ මෙහෙයවනු ලැබුවේ මධ්‍යම ආණ්ඩුවෙන්. එය ඉතා සාර්ථකව මැඩපැවැත්වූවා. මෙවැනි තත්වයක් තුළ අපට පළාත් සභා ක්‍රමයක් අවශ්‍යම ද?

කොවිඩ් – 19 ගෝලීය සහ දේශීය වශයෙන් ක්‍රියාතමක වූ ප්‍රශ්නයක්. මේ අවස්ථාවේ දී අප රජය විසින් ගත් සියලු ක්‍රියාමාර්ග ඉතාම ප්‍රශංසනීයයි. ඒ පිළිබඳව අප ඉතා ආඩම්බර විය යුතුයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න යථාර්ථවාදී ප්‍රශ්න මෙන්ම අපේ ජනතාවගේ හැඟීම්බර වූ ගැටලු කිහිපයක් තිබෙන නිසා මේ පළාත් සභා ක්‍රමය අවශ්‍යයි කියා මට හැඟී යනවා.

උතුරු නැ‍‍ගෙනහිර ප්‍රශ්නය විසඳීම සඳහා පළාත් සභා ක්‍රමය ගෙන ආවත් එය ලංකාව පුරාම ක්‍රියාත්මක වී දැනට දකුණේ හා අනෙකුත් ප්‍රදේශවල ජනතාව එම පළාත් සභා ක්‍රමය භුක්ති විඳිමින් සිටිනවා. අද පළාත් සභා ක්‍රමය අහෝසි කරනවා යැයි කියන විට දකුණේ ජනතාවත් කැමති වේ යැයි කිව නොහැකියි. ඔවුන් පළාත් සභා ක්‍රමය තුළින් බොහෝ දේ ලබා ගෙන ඇති බැවින් ඔවුන් ද මෙය අහෝසි කිරීමට එකඟ වෙන එකක් නැහැ.

* කරුණා අම්මාන් පසුගිය දා ප්‍රකාශ කළා සිංහල සොල්දාදුවන් 3000ක් ඝාතනය කළ බවට. ඔබ මේ පිළිබඳ දක්වන අදහස කුමක් ද?

එතුමා එසේ පැවසුවා දැයි අප හරියට දන්නේ නැහැ. එතුමා සොල්දාදුවන් 3000ක් මැරූ බවත් අප දන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේ දී එතුමා මෙවැනි දේ ප්‍රකාශ කිරීම සුදුසු නැති බවයි මගේ හැඟීම. එතුමාගේ එම කතාව පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලබනවා. එතන දී සත්‍ය අසත්‍යතාව හෙළිදරවු වෙයි කියා මා සිතනවා. අපගේ සන්නද්ධ අරගලවලදීවත් අප එවැනි දේ කළේ නැහැ. ඔහු එවැනි දෙයක් කළා නම් එය වැරදියි.

*මැතිවරණයෙන් පසු ඔබ හොඳ ඇමැතිකමක් ලැබේ යැයි සිතනවා ද? එසේ ලැබුණ හොත් ඔබගේ අනාගත වැඩපිළිවෙළ කොහොම ද?

එය ඉතා ඉවසීමෙන් බලාපොරොත්තු විය යුතු දෙයක්. යෝජනා ගණනාවක් තිබෙනවා. ඒවා උතුරු නැගෙනහිරට පමණක් නොවෙයි ලංකාව පුරාම ඕනෑම අමාත්‍යා‍යංශයක් මඟින් ක්‍රියාත්මක කළ හැකි යෝජනායි. ඒත් ජනතාවගේ අභිලාෂයන් සහ පත් වන තත්වය බලා ඉදිරි තීරණ ගන්නවා.

dinamina

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස