මට පසුව ප්‍රහාරයට ලක්වුණේ විමල්! මං මැදමුලනේ ජනේලේ එල්ලලා ෂැම්පේන් බොන්න ගිය අය බෝතලේ කඩන්න කලින් විමල්ලා මාව නුගේගොඩට ගෙනාවා! – මහින්ද

February 23, 2020 at 6:18 pm | by emanisa.lk

විමල් වීරවංශ යනු විරුද්ධවාදීන්ගෙන් කොපමණ ප්‍රහාරයට ලක්වූවත් ,අපමණ දුක්ගැහැට වින්දත් ඒ කිසිවකින් තමන්ගේ යුතුකම එක දශමයකින්වත් අත නොහැරපු දේශපාලන චරිතයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙ බව සඳහන් කර සිටියේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ  පාර්ලිමේන්තු දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් 22 පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘විසි වසක විරවංශය ’ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

අපි අද සම්බන්ධවෙන්නේ සුවිශේෂී අවස්ථාවකට. විමල් වීරවංශ මැතිතුමා පාර්ලිමේන්තුවට පත් වී වසර 20ක් සපිරීම නිමිත්තෙන් එතුමාගේ ඉදිරි දේශපාලන ගමනට සුබ පතන්න තමයි අද අපි එකතුවෙලා ඉන්නේ.

අද මට මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීමම බොහොම වැදගත් දෙයක්. මගේ අදහස් දැක්වීමට රාජ්‍ය තාන්ත්‍රික වචන එකතු කරනවට වඩා මම කැමතියි හදවතින් එන වචන එක්ක කතා කරන්න. ඒ නිසා ඇමැතිතුමා මන්ත්‍රීතුමා කියන නිල වචන වෙනුවට මම කැමතියි මට සුපුරුදු ‘විමල්’ කියන වචනය මේ අවස්ථාවේ දී පාවිච්චි කරන්න.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හෙවත් මට සුපුරුදු විමල්, හැමදාමත් කොළඹින් වැඩිම මනාප ගන්නවා. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක් විදියට පුටුව ලකුණින් ඉදිරිපත් වුණු දවසේ ඉඳලාම විමල් ඒ වාර්තාව කඩන්නේ නැතිව තමන් ළඟ තියාගෙන ඉන්නවා.

විමල් ලබන මේ මනාප ඇතුලේ වැඩියෙන්ම තියෙන්නේ කළගුණ සැළකීමේ මනාප, ආදරයේ මනාප, ගෞරවය නිසා දෙන මනාප, විමල්ව විශ්වාස කරලා දෙන මනාප.

මට මතකයි 2008ට කලින් විමල් නිසා ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් නොලබපු ජයග්‍රහණ ලබනකොටත් විමල්ටත් ජනතා විමුක්ති පෙරමුණටත් ගහපු හතුරෝ ගොඩක් හිටියා. 2008 විමල් ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බැස්සාම ඒ අය ප්‍රසිද්ධියේ කිරිබත් කෑවා. විමල්ගේ කරදරේ ඉවරයි කියලා හිතාගෙන එදා ඉඳලා ඒ අය ජනතා විමුක්ති පෙරමුණට ගහන එක නතර කළා. නමුත් විමල් බින්දුවේ ඉඳන් පටන් අරන් ආයෙම තමන්ට අයිති යුතුකමක් තියෙනවා කියලා හිතාගෙන ඒ යුතුකම වෙනුවෙන් සුපුරුදු ප්‍රහාරය පටන් ගත්තාම අර හතුරෝයි ජේ.වී.පී එකයි දෙගොල්ලොම එකතු වෙලා ආයෙම විමල්ට ගහන්න පටන් ගත්තා. ඒ ප්‍රහාරයට ලක් වීමේ ශක්තිය විමල්ට නොඅඩුවම ලැබුණා. එක දිගටම ලැබුණා. අද අපි මේ එකතුවෙලා හමුවෙලා කතා කරන විමල්ගේ විසි අවුරුද්ද පුරාම ලැබුණා.

අද අපි මේ එකතුවෙලා ඉන්නේ එහෙම එක දිගට විසි අවුරුද්දක් තිස්සේ එක දිගට ප්‍රහාරයට ලක් වුණු දේශපාලන චරිතයක රිදුම් ගැන නැවත සිහිපත් කරන්න. ඒ විතරක් නෙමෙයි කොපමණ ගැහුවත් කොපමණ රිදුනත් අපමණ දුක්ගැහැට වින්දත් ඒ කිසිවකින් තමන්ගේ යුතුකම එක දශමයකින් වත් අත නොහැරපු දේශපාලන චරිතයකට අපේ කෘතගුණ දක්වන්න, ඒකට ඉන්න වඩාත් සුදුසු කෙනා මම කියලයි මට හිතෙන්නේ. මොකද විමල් එහෙම ප්‍රහාරයට ලක් වෙනකොට විමල් දෙවැනි වුණා නම් දෙවෙනි වුණේ මට විතරයි. මට ගහපු ගැහිල්ල විමල්ට ගහපු ගැහිල්ල ඒ විස්තර සේරම තමුන්නාන්සේලා දන්වා. මහින්ද රාජපක්ෂව මැදමුලනේ ජනේලේ එල්ලුවා කියලා ශැම්පේන් බොන්න වාඩිවුණ උදවිය ෂැම්පේන් බෝතලේ කඩන්නත් කලින් ආයෙම මෙන්න මහින්ද රාජපක්ෂ ඉන්නවා නුගේගොඩ. විමල් ඇතුළු කණ්ඩායම එකතුවෙලා හදපු වේදිකාවේ, මහින්ද සුළඟ නමින් පටන් ගත්තා.

කට්ටිය ආයෙම බෝතලේ පුටුව යටට දාලා එනවා. මහින්ද රාජපක්ෂට ගහන්න. මහින්ද රාජපක්ෂව ඉවරයක් කරන්න. විමල්ට ගහන්න. විමල්ව ඉවරයක් කරන්න. මගේ පවුලේ උදවියත් හිරේ දානවා. විමල්ගේ පවුලේ උදවියත් හිරේ දානවා. නඩු පිට නඩු වැටෙනවා. ජනාධිපතිතුමාටත් නඩු දැම්මා.එකක් පස්සේ එකක් බොරු චෝදනා පැටව් ගහනවා. තමුන්නාන්සේලා දන්නවා හේතුව.

ඒ හේතුව වෙනත් කිසිවක් නෙමෙයි. රට ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීම. රට සංවර්ධන මාවතට යොමු කිරීම, රටේ අභිමානය වෙනුවෙන් පෙනී සිටීම. ඒ හේතුව නිසාම තමුන්නාන්සේලා මාව ආරක්ෂා කරනවා. විමල්ව ආරක්ෂා කරනවා. අපි ආයෙත් සටන නැවත පටන් ගන්නවා. ඒ සටනේ අවසානයේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ අති බහුතර කැමැත්තෙන් ජනාධිපති බවටත් පත් වෙනවා. විමල් අලුත් වගකීමක් භාරගන්නවා.

දැන් ආයෙම මාව ප්‍රහාරයට ලක්වෙනවා. අවුරුදු 20ක් තිස්සේ ප්‍රහාරයට ලක් වුණ විමල් දිගටම ප්‍රහාරයට ලක් වෙනවා. මොකක්ද ඒකෙන් කියන්නේ, සටන ඉවර නෑ කියනඑක. ගමන ඉවර නෑ කියන එක. සටන දිගටම කරන්න තියෙනවා. ගමන දිගටම යන්න තියෙනව.

රට ගැන තියෙන ආදරයත් එක්ක ජනතාවගේත් තියෙන ආදරයත් එක්ක ගෞරවයත් එක්ක කරන්න තියෙන ඒ සටන දිගටම යන්න තියෙන ඒ ගමනට විමල් වීරවංශ මහතාට තම හෘදයාංගම සුභ පැතුම් එක්කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින්  ‘විමල් යුගකාරකත්වයේ භූමිකාව’ කෘතිය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වීය.

මෙම උත්සවයට මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා, බන්දුල ගුණවර්ධන,ගාමිණි ලොකුගේ,ඩග්ලස් දේවානන්ද  ඇතුළු ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය ඇතුළු  සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

විජයානන්ද හේරත්
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස