ඉරිදා දිවයින පුවත්පත සුප්‍රකට ව්‍යාපාරික නාලක ලොකුවිතාන සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පහත දැක්වෙයි.
දෙසවනට හුරු පුරුදු වූ නමක් වන බැවින් ඔහු මැදවච්චියේ ජන්මය ලැබූවෙකු යැයි මා කියමි. නමුත් එය වඩා නිවැරදිව කියන්නේ නම් වර්ෂ 1969 දී ඔහු ජන්මය ලැබුවේ මැදවච්චියටත් කිලෝමීටර් තිහක් පමණ නැගෙනහිරට පිහිටි කොබටියගොල්ලෑව ග‍්‍රාමයේ ය. එය කැබිතිගොල්ලෑවට කිට්ටුය. අතිදුෂ්කර පරිසරයක දරිද්‍රතාවයේ අමිහිරි රස විඳිමින් තම ජීවන චාරිකාව ආරම්භ කළ හෙතෙම මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 800 කට වඩා වැඩි අති දැවැන්ත චංචල හා නිශ්චල දේපළ හිමිකරුවෙකි. වාසනාව ගැන පමණක් නොසිතා කැපවීමෙන් සහ ධෛර්යයෙන් පසුවිපරමේ යෙදෙමින් සිය ඉලක්ක කරා ගොස් මෙරට පමණක් නොව දේශ දේශාන්තරයන්හි ශ‍්‍රී ලාංකීය නාමය රැන්දූ ඔහු ප‍්‍රකට සාර්ථක ව්‍යාපාරිකයෙකි.
ඔහු… නමින් නන්දන ලොකුවිතාන ය. පාඨක ඔබට සිහි ගැන්වෙන පරිදි වඩා පැහැදිලිව කියන්නේ නම් ඔහු. රාජපක්ෂ පවුලේ කළු සල්ලි සුදු කළේ යැයි පසුගිය යහපාලන රජය සමයේ දී චෝදනා ලැබූ ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු ය.
සාජා හි ඔනෙක්ස් ඉන්ඩස්ට්‍රිස්. ඔනෙක්ස් බිල්ඩින් සිස්ටම්. ඔනෙක්ස් ඉලෙක්ට්‍රොනික් සර්විස්. නිලෝනා හෝල්ඩින්ග්ස්, ශ‍්‍රී ලංකා ඔරුවල වානේ සංස්ථාව, සිලෝන් හෙවි ඉන්ඩස්ට්‍රිස් සහ කන්ට‍්‍රක්ෂන් ඇතුළු සමාගම් රැසක හිමිකරු ද වන්නේ ඔහුය.
මා. ඔහු මුණ ගැහෙන්නේ පසුගිය දා (14දා) ඔහුගේ සමාගම් ජාලයට අලූතෙන් එකතු වූ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන්” කර්මාන්තශාලාවේ වගතුග සහ එමගින් ජාතික ආර්ථිකයට වන ධනාත්මක බලපෑම පිළිබඳව සාකච්ඡාවකටය.
එය හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ අක්කර එකසිය 155 ක් පුරා පැතිර තිබෙන තනි අයිතියක් යටතේ ඇති කර්මාන්ත පුරයකි. එය මෝටර් සයිකල් ටයරයේ සිට විශාල කාර්මික ටයර් නිෂ්පාදනය දක්වා දිවෙන මහා පරිමාණ නිෂ්පාදනය ක‍්‍රියාවලියක් සිදු කෙරෙන තැනකි.
එහි පළමු අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100 කි. දෙවන අදියර එළැඹෙන නොවැම්බරයේදී ආරම්භ වීමට නියමිත අතර එහි ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150 කි. යුරෝපීය වෙළෙඳපොළ මූලික ලෙස ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන මෙම නිෂ්පාදන ක‍්‍රියාවලියෙහි සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් තරම් සුවිසල් ය.
මා. නන්දන ලොකුවිතාන මහතා මුණ ගැසෙන්නේ මෙකී කර්මාන්තශාලාව පිළිබඳ විමසීමට බව මුලදී ද සටහන් කළෙමු. එනමුදු මාගේ සිත කියනුයේ යහපාලන රජය සමයේ දී චෝදනාවන් රැසකට ලක්වූවකු බැවින්ද මැදවච්චියේ ඉපද මේ වන විට සුවිසල් ධනස්කන්ධයකට උරුමකම් කියන්නෙක් වූ බැවින්ද පාඨක ඔබට මෙන්ම මා හටද ඇති සැක සංකා දුරුකර ගැනීම පිණිස ඒ පිළිබඳ පළමුව විමසීම වඩා උචිත යැයි කියාය.
‘‘නන්දන මහත්මයා. ‘‘ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන්” කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම පිළිබඳව ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ” සුබපැතුම් මා ඔබට පිරිනමනවා. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන්. විවිධ චෝදනාවන් රැසකට ලක්වූ ව්‍යාපාරිකයකු වූ ඔබගෙන් පැහැදිලි කරගැනීමට යම් යම් කාරණා කිහිපයක්ම තිබෙනවා” යැයි මා කළ සඳහනට ඔහුගේ ක්ෂණික පිළිතුර වූයේ ‘‘ ඕනෑම ප‍්‍රශ්නයක් අහන්න මම ඒකට කැමතියි ” යන්නය.
ඒ අනුව. ‘‘වත්මන් අගමැති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඔහුගේ පවුලේ කළු සල්ලි සුදු කළ කුප‍්‍රකට මෙරට ඩුබායි ව්‍යාපාරිකයා ඔබ නොවේ ද” මාගේ පළමු පැනය විය.
tyre2‘‘ඔබගේ ඔය ප‍්‍රශ්නයට මේ කෙටි සාකච්ඡාව තුළ උත්තරයක් දීම නිසි පිළිතුරකට ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ. එසේ වුවහොත් ඔබට සහ විශේෂයෙන් පාඨකයන්ට සිදුවන්නේ අසාධාරණයක්. නමුත් ඔබගේ ප‍්‍රශ්නයට පිළිතුරක් නොදී ඉන්න හැකියාවක් මට නැහැ. එම නිසා මට කියන්න තිබෙන්නේ. ඔබ ප‍්‍රශ්නයක් වශයෙන් විමසන ලද කාරණය චෝදනාවක් ලෙස පසුගිය වසර පහ තුළ යහපාලන ආණ්ඩුවත් මට එලෙසම කළා. මම එෆ්. සී. අයි. ඞී එකට පමණක් අවස්ථා 28 ක දී ගොස් පිළිතුරු ලබා දී තිබෙනවා. එහිදී ප‍්‍රශ්න 25 ක උප මාතෘකා සියයකට අධික සංඛ්‍යාවක් යටතේ මා පිළිතුරු ලබාදී තිබෙනවා. ඒ වගේම ජනාධිපති කොමිසමට. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අවස්ථා ගණනාවකදී ගොස් තිබෙනවා. අවසානෙ එකී සියලූ චෝදනාවලින් මම නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඇත්තටම ඒ කරපු චෝදනා. චෝදනාවන් පමණක්ම වුණා. මෙතන ඇත්ත සිදුවීම කුමක්ද යන්න චෝදනා කළ අයත් අවසානයේ දැනගත්තා. මේ චෝදනා කළ අයට මම දෝෂාරෝපණය කරන්න යන්නෙ නෑ. මොකද මගේ අතිනුත් එතැන අඩුපාඩුවක් වෙලා තිබෙනවා. මොකද. ඩුබායිවල තරු පහේ හෝටලයක් තියෙන මම හෝටල් කර්මාන්තය සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන කිසිම සංවිධානයක ඒ වන තෙක් කටයුතු කර තිබුණේ නැහැ. ඒ වගේම මෙරට සමාජය සමග මම මුහුවෙලාත් නැහැ. එවැනි වටපිටාවක් තුළ මෙරට මිනිස්සු මා ගැන සැකෙන් බැලීම අසාධාරණයක් නැහැ. ඇත්තටම ඔවුන් හිතන්නැති මේ කාගේ හරි සල්ලි කියලා. මා සම්බන්ධයෙන් කෙරුණු චෝදනා වලට මුල එතැනයි. නමුත් ඒ සියලූ චෝදනාවලින් මා මේ වන විට නිදොස්කොට නිදහස්ව තිබෙනවා.
ප‍්‍රශ්නය – එසේ නම් නිකරුණේ චෝදනා කළ අයට එරෙහිව ඔබ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට පුළුවන් නොවේද?
පිළිතුර – ඒක වැදගත් ප‍්‍රශ්නයක්. මම ව්‍යාපාරිකයකු මිස දේශපාලනඥයෙක් නොවෙයි. ඇත්තටම මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියා මිස එක එක අය කළ චෝදනා පසුපස දිව ගියේ නැහැ. මම ඔවුන් පසුපස ගියානම් ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් බිහි නොවනවා වගේම අද මට ඔබව මෙතැනදී මුණ ගැහෙන්නෙත් නෑ. ඇත්තටම මම ඔවුන් පසුපස නොගිය එක හොඳයි කියලා දැන් ඔබට හිතෙන්නේ නැද්ද..? ඔවුන් නිසා මට සිදු වූ පාඩුව මෙතෙකැයි කියා කියන්න බෑ. නමුත් චෝදනා කළ අය පසුපස යන්න හෝ ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න මට කිසි අවශ්‍යතාවක් තිබුණේ නැහැ.
ප‍්‍රශ්නය – ඔබට හිටපු ජනාධිපති. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසෙන්නේ කෙසේද..?
පිළිතුර – එතුමා මට හඳුනා ගන්න හැකිවන්නේ දිවංගත ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමා මාර්ගයෙන් සහ නලින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීතුමා මාර්ගයෙන්. යුද්ධය පවතින කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට කිව්වේ නන්දන යුද්ධය ඉක්මනින් ඉවර වෙනවා. ඔයා ලංකාවට ඇවිත් ආයෝජනය කරන්න කියලා. ඉතින් මම ඩුබායි වල සිට මැදවච්චියට දුරකථනයෙන් කතා කර යුද්ධයේ තොරතුරු පිළිබඳ විමසද්දී අනෙක් පසෙන් හැමතිස්සෙම කිව්වේ ඔයා මෙහෙ ඇවිත් සල්ලි නැති කරගන්න එපා කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ඇති ගෞරවය නිසා එතුමාගේ ඉල්ලීම මට අහක දාන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ.
ප‍්‍රශ්නය – ඒ අනුව ඔබ ලංකා වානේ සංස්ථාව මිලදී ගන්නවා. ඒ පිටුපස කූට ගනුදෙනු තිබූ බව කියවුණා. විශේෂයෙන් රජයේ ඉඩම් ඔබට වාසි සහගත ලෙස ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබුණා.
පිළිතුර – එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තමයි මා මෙහි ආයෝජනය කරන්නේ. මම වානේ සංස්ථාව ගත්තේ 2009 දී. ඒ කොරියන් සමාගමකින්. ඒ වනවිට එහි අයිතිය තිබුණේ ඔවුන්ට මිස මෙරට රජයට නොවෙයි. මෙය මිලට ගන්න ඉන්දියාවේ අය බලන් සිටියා. ඒ වගේම සමහරු මෙය අරන් ඉඩම කොටස්වලට කට්ටි කර විකුණන්න බලන් සිටියා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා මට කිව්වේ නන්දන ඔයා මේක අරන් කරන්න කියලා. මේ සඳහා මම ඇමරිකානු ඩොලර් මිලියන අසූවක ආයෝජනයක් කළා.
ප‍්‍රශ්නය – ඔබ ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු වෙනවා. එය මිලදී ගත් මුදල් ඔබගේ නොවන බවට චෝදනා එල්ල වුණා.
පිළිතුර – එය වෙන කාගෙවත් මුදල් නෙමෙයි. ඒවා මා ඉතා සාධාරණව ඉපැයූ මුදල්. ඒ ඉඩම මම ගත්තේ 2007 වසරේදී. එය හදපු හෝටලයක් නෙමෙයි. ඒ භූමිය ඩොලර් මිලියන 35 කට ඩුබායි මධ්‍යම රජයෙන් සින්නක්කරව ලබාගෙන තමයි මැරියට් හෝටලය ගොඩනැඟුවේ. ඉදිකිරීම් පටන් ගත්තේ 2010 වසරේදී. එහි වැඩ අවසන් කරන්න පුළුවන් වුණේ 2013 වසරේදී. මෙය ඩොලර් මිලියන 225 ක ආයෝජනයක්.
දුප්පත් පවුලකින් එන කෙනෙකුට. රජයේ නිලධාරියකුට ව්‍යාපාරිකයකු වෙන්න බැහැ කියලා අපේ රටේ මිනිස්සු ළඟ මතයක් තිබෙනවා. මෙය ඔළුවේ තිබෙන මානසික ප‍්‍රශ්නයක්. එය අයින් කර ගන්න ඕනෑ.
tyre3මැරියට් වගේ හෝටලයක් මහින්ද මහත්මයාගේ හෝ ඉරානයේ හෝ වෙන කාගේ හෝ සල්ලි දාලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ අය ආයෝජකයකු තෝරා ගන්නකොට අපේ අම්ම තාත්තගෙ සිට සියලූ විස්තර හොයල බලනවා. අපගේ සියලූ ගිණුම් හොයනවා. නීත්‍යනුකූල නොවන පරිසරයක සිටි කෙනකුට එයට ඇතුළු වෙන්න බැහැ. එය ඇමරිකානු සමාගමක්. ඒ අය අපගේ සියලූ පුද්ගලික තොරතුරු වගේම සියලූ ගනුදෙනු සොයා බලනවා අනෙක මම මගේ අදාළ පවුලේ යටතේ සියලූ ව්‍යාපාරවල ගිණුම් තොරතුරු FCID යට වසර 15 ක ආපස්සට දී තිබෙනවා. සාමාන්‍යයෙන් එවැනි තොරතුරු දෙන්නේ අවසන් වසර 5 තුළ පමණයි. නමුත් අපි වසර 15 ක දී තිබෙනවා.
ප‍්‍රශ්නය – හොඳයි. මා පැමිණි මාතෘකාව සෑහෙන පසුසට ගොස් තිබෙනවා. ඊට මත්තෙන් ඔබගේ ළමාවියේ ඉතිහාසය ගැන යමක් සඳහන් කළොත් වටිනවා යැයි සිතනවා.
පිළිතුර – මම පිරිමි ළමුන් පස්දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා. මගේ පියා පියදාස ලොකුවිතාන එතුමා විදුහල්පතිවරයෙක්. මව මල්ලිකා තෙන්නකෝන් ගුණවර්ධන. එතුමිය ගෘහණියක්. එතුමා සහ එතුමිය ජීවතුන් අතර හොරණ ඉන්නවා. සහෝදරයන් හතරදෙනාම මගේ ව්‍යාපාරයන්ට සම්බන්ධ වෙලා සිටින්නේ. ඇත්තටම මේ ව්‍යාපාර අපේ පවුලේ ව්‍යාපාරයක්. කොබටියගොල්ලෑව කියන්නේ දුප්පත් ගමක්. අගහිඟකම් අපට හොඳට පුරුදුයි. බාල කාලය ගෙවුණේ ඒ ගමේ. මගේ මූලික අධ්‍යාපනය පිහිඹියගොල්ලෑව පාසලෙන්. එහිදී මම පහවසර ශිෂ්‍යත්වය සමත් වෙනවා. දෙමාපියන් අගහිඟකම් මැද ජීවත් වුවත් ඔවුන් අපට ලොකු දැවෑද්දක් ලබා දුන්නා. ඒ හරකා බාන ඉඩකඩම් මුකුත් නෙමෙයි. ඒ තමයි අධ්‍යාපනය.
මට මතකයි පහ වසර ශිෂ්‍යත්වය සමත් වූ පසු තාත්තා මාව බසයෙන් නුවරට රැගෙනවිත් පේරාදෙණිය සරසවිය පෙන්නන්න රැගෙන ගියා. එහි ගොස් එතුමා කිව්වා පුතා ලොකු වෙලා මෙතැනට එන්න ඕන කියලයි. එදා ලොකු වැටහීමක් නොතිබුණත් ඒ කතාව මගේ සිතේ තිබුණා. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ සමත් වූ පසුත් තාත්තා මාව නුවර එක්කගෙන විත් පේරාදෙණිය සරසවිය පෙන්නන්න එක්කගෙන ගියා. ඒ වතාවේදී තාත්තා කිව්වේ පුතා ඔයා මේ විශ්වවිද්‍යාලයට ගිහින් ඉංජිනේරුවකු වෙන්න ඕන කියලයි. මම සාමාන්‍ය පෙළ හදාරන්නේ අනුරාධපුරය නිවන්තකචේතිය විද්‍යාලයෙන්.
මම උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරුවේ අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලයේ. තාත්තට මාව ඉංජිනේරු අංශයෙන් ඉහළට යවන්න ඕන වුණත් ඒ සඳහා අවස්ථාව සලසා ගන්න මට හැකි වුණේ නැහැ. මට එන්ඞීටී කරන්න අවස්ථාව තිබුණා. නමුත් තාත්තාට ඕන වුණා තවත් වරක් උසස් පෙළට මාව පෙනී සිටවන්න. නමුත් මම කොළඹ ආවා. එහි මට මුදල් නොමැති නිසා අමතර ආදායමක් උපයා ගන්න ගෙවල් ගාණේ ගොස් ළමුන්ට සාමාන්‍ය පෙළට ටියුෂන් දුන්නා. ඒ අතරවාරයේ කඳවිලවත්ත ගාමන්ට් ෆැක්ටරියකට සම්බන්ධ වුණා. ඉන්පසු මහරගම හයිඩ‍්‍රාමනී ආයතනයේ සේවයට ගියා. එහි කෙටි කාලය තුළ මා බොහෝ දේ ඉගෙන ගත්තා. එතැන රාජකාරි කළ සාමාන්‍යාධිකාරි කුරුප්පු මහතා සහ නිෂ්පාදන කළමනාකරු වන ශාන්ත හෙට්ටිආරච්චි මහතාව මට කිසිසේත් අමතක කරන්න බැහැ. එතුමන්ලා මට ලබා දුන්නේ ලොකු සහායක්.
ප‍්‍රශ්නය – ඔබගේ ඩුබායි ආගමනය වන්නේ කුමන වසරේදීද?
පිළිතුර – මම ඩුබායි ආවේ වර්ෂ 1989 දී. මම මහරගම හයිඩ‍්‍රාමනී ආයතනයේ වැඩ කරන කාලයේ පැරඩයිස් කියලා සමාගමක් ලංකාවේ තිබුණා. ඔවුන්ගේ කර්මාන්තශාලාවක් ඩුබායිවල තිබුණා. ඒ ෆැක්ටරි එකට තමයි 89 දී මම ආවේ. දෙමාපියන් ඩුබායි ගමනට කැමැති වුණේ නැහැ. එතකොට මට වයස යන්තම් අවුරුදු 19 යි. එතැන මම වසර 2 ක් වැඩ කළා. ඉන්පසු මම අවුරුදු 21 ක් වෙද්දී ඒ රටේ ලොකු සමාගමක රැකියාවට ගියා. ඒ ගියේ නිෂ්පාදන සහකරුවකු විදිහට. ඉන්පසු නිෂ්පාදන කළමනාකරුවකු ලෙස වෙනත් සමාගමකට සම්බන්ධ වුණා. එතැන වසර තුනක් වැඩ කළා. පසුව මම ඇමරිකන්
සමාගමකට නිෂ්පාදන කළමනාකරුවකු ලෙස එක් වුණා. එතැනින් වසර ගණනාවකට පසුව තමයි ගාමන්ට් ෆීල්ඞ් එකට අවතීර්ණ වුණේ.
ප‍්‍රශ්නය – ඔබට අයත් ඇඟලූම් නිෂ්පාදන ආයතනයක් පැනමා පෙපර් ගනුදෙනුවලට සම්බන්ධ බවට පසුකලක ප‍්‍රචාරය වුණා. මගේ මතකය නිවැරදි නම් SAN කියන ඇඟලූම් ආයතනයක් එය.
පිළිතුර – ඔව්. එය SAN ඇඟලූම් ආයතනය තමයි. SAN කියන්නේ නම් තුනක මුලකුරු තුනක එකතුවක්. ඊට ප‍්‍රවීණ කි‍්‍රකට් කී‍්‍රඩක සනත් ජයසූරිය. එතුමාගේ හිතවතකු වන අනුර මහතා සහ මම සම්බන්ධව සිටියා. සනත්ගේ නමේ ‘එස්’ යන මුල අකුරත් ඔහුගේ යාළුවාගේ නමේ ‘ඒ’ යන මුල් අකුරත් සහ මගේ නමේ ‘එන්’ යන මුල අකුරත් අනුවයි SAN සැකසුණේ. මම මීට කලින් මේ ගැන මාධ්‍යයක සඳහන් කළේ නැහැ. එසේ නොකළේ ඔවුන්ටත් FCID යන්න වගේ කරදර හිරිහැර සිදුවෙන නිසා.
tyre4ඇත්තටම සනත් අපට ලොකු ශක්තියක් වුණා. ඔහුට තිබෙන කීර්තිය සහ කැමැත්ත නිසා බොහෝ දේවල් අඩු මුදලට අපට ලැබුණා. ඩුබායි ශේක්ලා (සුල්තාන්වරු) බොහෝ දෙනා සනත්ව දන්න කි‍්‍රකට් ලෝලීන්. මේ නිසා අපි ක‍්‍රම ක‍්‍රමයෙන් ව්‍යාපාරික අතින් ඉහළට පැමිණියා. සනත් සහ යාළුවා ව්‍යාපාරයෙන් ඉවත් වූ පසු මම නිලෝනා ෆැෂන් නමින් වසර 2000 දී තනි අයිතියක් යටතේ ව්‍යාපාරය ඉදිරියට රැගෙන ගියා.
ඉන්පසුව 2004 දී ඔනෙක්ස් ඉන්ඩස්ටී‍්‍රස් නමින් සමාගමක් ආරම්භ කළා. එහි ඉදිකිරීම් කටයුතු සහ යකඩ නිෂ්පාදන කටයුතු කළේ. එතැන් සිට ආපු ගමනක ප‍්‍රතිඵලය තමයි මේ තිබෙන්නේ. මම දැන් කොතැන සිටියත් ගැමිකම. බෞද්ධකම අමතක කර නැහැ. මගේ ගැමිත්වය අදටත් එහෙමමයි. කොහේ ගියත් ගමේ සුන්දර පරිසරය අදටත් මට සුවිශේෂියි.
ප‍්‍රශ්නය – ෆෙරෙන්ටිනෝ ටයර් සමාගම නිෂ්පාදන කටයුතු ආරම්භ වුණා. මෙය මූලිකව විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන සිදු කෙරෙන නිෂ්පාදන කි‍්‍රයාවලියක්. පවතින තත්ත්වයන් තුළ මෙම නිෂ්පාදන කි‍්‍රයාවලිය සාර්ථක වේවිද?
පිළිතුර – සියයට 100 ක්ම සාර්ථකයි. ඇමරිකාව. චීනයට සහ මැලේසියාවට බදු පනවා තිබෙන නිසා අපට වාසියක් තිබෙනවා. ඇත්තටම ව්‍යාපාරිකයකු ලෙස මට කියන්න තිබෙන්නේ රජය ඇමරිකානු හිතවාදී ප‍්‍රතිපත්තියක සිටිනවා නම් අපටත් වඩා අපගේ ළමයින්ට හොඳ වෙන්න පුළුවන්.
මෙය යුරෝපීය තාක්ෂණය මුසු කොට සිදුකෙරන අධි තාක්ෂණික නිෂ්පාදනයක්. ඉහළ ප‍්‍රමිතියක් එහි සතුයි. කාර්මික ටයර් නිපදවන්නේ ඇමරිකාව හා යුරෝපය සියයට 100 ක් ඉලක්ක කරගෙනයි. ඇමරිකාවට රේඩියල් ටයර් යවන පළමු කණ්ඩායම අපියි. අප ලංකාවට ඩොලර් ගෙනෙන කර්මාන්තයක් කරන්නේ. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති නිසා නැඟී සිටින්න පුළුවන්ය යන විශ්වාසය අපට තිබෙනවා. එය කරන්න ආනයන අඩුකර අපනයන ඉහළ දමන්න ඕන. අපි වගේ ව්‍යාපාරිකයන් ඊට දායක විය යුතුය.
ප‍්‍රශ්නය – ඉදිරි සැලසුම් කෙසේද?
පිළිතුර – ලබන ජනවාරියේ හම්බන්තොට ලංකා සංස්ථා සිමෙන්ති නිෂ්පාදන ආරම්භ කරනවා. ඉදිරි ලෝක වෙළෙඳපොළ දෙස බලා ඉදිරිය සැලසුම් කරනවා.
ප‍්‍රශ්නය – පවුලේ විස්තර කෙසේද?
පිළිතුර – මම විවාහ වුණේ 2003 වසරේදී මට පුතෙකු සහ දුවෙක් සිටිනවා. පුතා උපාධිය කරලා ඉන්නේ. පුතා මිකැනිකල් ඉංජිනියර් කෙනෙක්. ලන්ඩන් හි සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. දුව සරේ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන උපාධිය අවසන් කරලා ඉන්නේ. දෙදෙනාම මගේ ව්‍යාපාරයන්ට සම්බන්ධයි.
සාකච්ඡා කළේ: සිරිමන්ත රත්නසේකර