ජනතා ප්‍රශ්නවලට කලට වේලාවට විසඳුම් නොදීම හා රටේ ආර්ථික අර්බුදය නිසා හටගත් ජනතා අසහනය, දේශපාලන බලපෙරළියක් සඳහා යොදාගැනීමට පාර්ශ්ව ගණනාවක් කටයුතු කරමින් සිටී. දේශපාලන පක්ෂ, සිංහල බෞද්ධ විරෝධී සංවිධාන හා ඇන්ජීඕ ඒ අතර වේ. ගෝල්පේස් මූල කඳවුරක් වී ඇත. එතැනට ගැලපෙන පරිදි හැසිරෙන උද්ඝෝෂකයෝ මාර්ග වසා හර්තාල් ඇතිකර මහජනයාට නොයෙක් පීඩා දෙමින්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්නැයි කියති.
දේශපාලනඥයින් කිහිප දෙනෙක්ම ජනාධිපතිකම භාරගැනීමට සූදානම් වී සිටිති. ජවිපෙ, පෙරටුගාමී සහ ඇන්ජිඕ සංවිධාන කිහිපයක්ම, ගොඩනැගෙමින් පවතින්නේ දේශපාලන අරගලයක් බව කියමින් ඔවුන්ට බලය ලබා දෙන්නැයි මහජනයාගෙන් ඉල්ලති. අරගලය නිර්පාක්ෂිත නැති බවත් එයට දේශපාලනයක් ඇති බවත් තමන් ඒ සඳහා නායකත්වය දෙන බවත් ජවිපෙ ලේකම්වරයා කියා සිටියේය. සජබ නායක සජිත් ප්‍රේමදාස සහ තවත් සමහර අයද අරගලයට නායකත්වය දෙන්නට කැමතිය. අරගලයේ නායකත්වය තමන්ගේ කරගැනීම සඳහා සීතල යුද්දයක් හටගෙන තිබේ.
ඇතැම්හු ‘විප්ලවය’ සිංහල බෞද්ධ විරෝධය පිරිමසා ගන්නට අවස්ථාවක් කරගෙන සිටිති. ඔවුනතර යාඥාකල්ලි, බෞද්ධයන් මිසදුටු ගන්වන සංවිධාන හා අන්තවාදී ආගමික කණ්ඩායම් කැපී පෙනේ. ඇතැමුන් අරගලයේ වැඩ්ඩන් වෙන්නේ භික්ෂුන් වහන්සේට සහ විහාරස්ථානවලට නිගා කිරීමෙනි. මාක්ස්වාදයෙන් මොළ පුරවාගෙන සිටින ජවිපෙ, පෙරටුගාමී වැනි දේශපාලන කණ්ඩායම් ‘ආගම අබිං’ න්‍යාය අනුගමනය කරන්නෝය.
පක්ෂ භේදයකින් තොරව තමන් මුහුණපා සිටින ගැටලුවලට විසඳුම් ඉල්ලා රජයට විරෝධයපාන ජනකොටසක් සිටිති. ඔවුන්ගේ අවශ්‍යතාව තමන් මුහුණපා සිටින ප්‍රශ්නවලට පිළියම් මිස කවරුන් හෝ ගෙදර යැවීම නොවේ. එහෙත් ‘නිර්පාක්ෂික විරෝධතාව’ යන යෙදුම සංවිධානාත්මකව යොදන පිරිසගේ අරමුණ, ජනාධිපතිට ඉල්ලා අස්වී ගෙදර යායුතුව ඇතැයි රටේ මහජනයා හඩනගන බව ලෝකයට පෙන්වීමයි. ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් හෝ පාර්ලිමේන්තුවේ fදා්ෂාභියෝගයක් සම්මතයෙන් විනා ජනාධිපතිවරයා ඉවත්කිරීමේ හැකියාවක් නැත. තමන් ඉල්ලා අස් නොවන බව ජනාධිපතිවරයා පවසා ඇති අතර දෝෂාභියෝගයක් සම්මත කරගැනීමට ශක්තියක් විපක්ෂයට නැති බවද පැහැදිලිය.
උද්ඝෝෂකයින් අතර කැපී පෙනෙන ජවිපෙ හදිසියේ බිහිවූ දේශපාලන ව්‍යාපාරයක් නොවේ. උපන්ගෙයි ත්‍රස්තවාදී සංවිධානයකි. ලංකා කොමියුනිස්ට් පක්ෂය විප්ලවීය මාවත අතහැර ඇතැයි සිතු එම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් එහි ප්‍රාරම්භකයෝ වූහ. ඔවුන් සිය වැඩපිළිවෙළ පටන්ගත්තේ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂය (චීන පිල) පිහිටුවීමෙනි. එහි සාමාජිකයන්ට හමුදා පුහුණුව ලබාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වූයේය. ජවිපෙ උප නායකයෙකු වූ සනත් කැලැත්තාවේ සංවිධාන කළ කඳවුර නිදසුනකි. මෙවැනි කඳවුරු ගණනාවක් දිවයිනේ තවත් ස්ථානයන්හි පැවැත්වුණි.
යාපනය සම්මේලනයෙන් පසු චීන පිලේ නායක ෂන්මුගදාසන් සැබෑ විප්ලවවාදියෙක් නොවේ යයි තීරණය කළ රෝහණ විජේවීර ජවිපෙ ඇරඹුවේය. 1971 අප්‍රියෙල් කැරැල්ල එය විසින් සංවිධාන කරන ලද්දකි. පෙරටුගාමින් බිහිවී ඇත්තේ, අලුත් ජවිපෙ විප්ලවාදී මගින් ඉවත් වී ඇතැයි කියන පිරිසකගෙනි. මාක්ස් න්‍යායටම වැඩකරන ඔවුන් කියන්නේ අරගල කිරීමෙන් සහ ප්‍රචණ්ඩ කැරැල්ලකින් බලය ලබා ගත යුතු බවයි. ඔවුන් රාජ්‍ය බලය ලබාගැනීමේ අරගලයක යෙදෙන බව ඔවුන්ගේ කතා අසන නුවණැත්තන්ට වැටහේ.
1971 අප්‍රියෙල් කැරැල්ල රටේ උගත් තරුණ පිරිසක් මෙහෙයවූවකි. ඊට සම්බන්ධ නායකයින් හැම දෙනාම යම් පමණකට ආණ්ඩුවේ උසස් අධ්‍යාපනයක් ලබා සිටියහ. ඒ.සී. අලස් විනිසුරුවරයාගේ වාර්තාවට අනුව වැඩි පිරිසක් රැකියා කළ අයය. නමුත් පඬියෝ එය අසහනයට පත් ගැමි තරුණයන්ගේ කැරැල්ලක් ලෙසින් හැඳින්වූහ.
ලංකාව මේ විනාශයට ඇදවැටීමට ප්‍රධාන හේතුව නිදහස ලැබූ කාලයේ සිට රට මෙහෙයවන උගත් පරපුරයි. ඒ යථාර්ථය නොසලකා ‘225 රට කෑවා’යි කෑගැසීම, තමන්ගේ වැරදි වසාගැනීම පිණිස උගතුන් විසින්ම සමාජගත කළ සටන් පාඨයකි. කුඹුරු පනතේ පටන් ලංකාවට වින කරන හැම පනතක්ම උගතුන්ගේ නිර්මාණයකි. නිදසුනක් දක්වතොත් මහජනයා පොහොර ප්‍රශ්නය මුල්කරගෙන ගෝඨාභය ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාර ඇරඹූහ. එය වැරදි තීරණයක් බව දැන් ජනාධිපතිවරයා කියයි. පොහොර ප්‍රශ්නය වැරදි මාර්ගයේ යනු දුටු වහාම, කාබනික පොහොර උගුල අවුරුදු දෙතුන් දහසක් පැරණි ලංකාවේ ගොවිතැන ගැන වැටහීමක් නැති උගතුන්ගේ ක්‍රියාවක් බව අපි ලිව්වෙමු. කාබනික පොහොර ලණුව තනිකරම පඬියන් කිහිප දෙනෙකු විසින් අඹරන ලද්දකි.
පසුගිය ඉරාන ඉරාක සංග්‍රාමයේදී යුද බිමට ගිය ඉරාන සෙබළුන්ට අල්ලා දෙවියන් පිළිබඳ උගත්කම තිබුණි. සටනට යන ඔවුන් කාටත් යුධ ඇදුම් කට්ටලය සමග අල්ලා වෙනුවෙන් ජීවිතය කැප කරන බව කියවෙන සින්දු අඩංගු කුඩා ගුවන් විදුලි උපකරණයක් ලැබුණි. පැරණි සිංහල බෞද්ධ අධ්‍යාපන ක්‍රමය සහ යුදෙව් ක්‍රිස්තියානි ඉස්ලාම් අධ්‍යාපන ක්‍රමය අතර මූලික වෙනස ඇත්තේ මෙතැනය. සිංහල බෞද්ධ අධ්‍යාපන ක්‍රමය මගින් රැලේ යන බැටළුවන් හැදුවේ නැත. ලංකාවේ පවත්වාගෙන යන බි්‍රතාන්‍යයන් පිහිටුවූ අධ්‍යාපන ක්‍රමයෙන් හැමදාම සිදුකරන්නේ රැලේ යාමට බැටළුවන් සැදීමයි.
පාස්කු ප්‍රහාරය ඉදිරියට දමා කොළඹ බිස්කුතුමා ඇතුළු කතෝලික සභාවේ නායකයින් ගෝඨාභය ආණ්ඩුවට විරෝධය ප්‍රකාශ කළ වහාම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට වැඩි වැඩියෙන් උගත්තු එක්වන්නට වූහ. නන්දා මාලිනි උගත් (විශාරද) කාන්තාවකි. කැරලි පිළිබඳ අත්දැකීම් ඇති ඈ ‘අපට ඕන උගතුන්ගේ වෘත්තිකයන්ගේ පාර්ලිමේන්තුවක්’ යැයි සඳහන් පුවරුවක් රැගෙන ගෝල්පේස් පිටියට ගොස්, 87-89 භීෂණ සමයේ ජවිපෙ සාමාජිකයන් පිස්සු වැට්ටූ ‘පවන’ ගී ගායනා කරන්නට වූවාය. ඒ ගීත රචනා කරන ලද්දේ උගතකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි.
එකල ‘විමුක්ති ගී’ නමින් ජවිපෙ සංගීත සන්දර්ශන නගර ගානේ පැවැත්විණි. ‘පවන’ට වහ වැටුණ විජේවීර, විමුක්ති ගී නවත්වා ‘පවන’ පිළිගත්තේය. “යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න, ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය දී මරන්න. අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්, කුමට එරට අධිකරණය නීතිය හා පොලිසි.” ගැන ඇය කීවාය. මෙහි ව්‍යාංගාර්ථ කුමක්ද? ‘පොලිසිය, නීතිය, පැත්තකට දමා නීතිය අතට ගනිල්ලා’ යන්නයි.
එදා, එසේ කියූ නන්දා සුනිල් දෙදෙනා, ආණ්ඩුවේ මර්දනය වැඩිවෙද්දී ඉන්දියාවට පළා ගියහ. ගී අසා නොමග ගිය තරුණ තරුණයින් දහස් ගණනක් අපා දුක් ලැබූහ. සුනිල් ලියා නන්දා ගැයූ ගී නිසා සමාජයට සිදුවූ හානිය විග්‍රහ කරමින්, ජර්මනියේ බර්ලින් ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය ‘නොබෙල් තෑග්ග’ නමින් පොතක් පළ කළාය. එහි දෙවැනි මුද්‍රණය පළ වූයේ, ‘මහාචාර්ය සුනිල් ආරියරත්න විශාරද නන්දා මාලිනී මිනීමරවති’ නමිනි. පසු කලෙක ඇන්ජීඕ සඟරාවක් වූ ‘බලය’ට අදහස් දැක්වූ සුනිල් ආරියරත්න, ‘ඔවුන්ගේ ගී අසා උත්තේජනක් ලැබූ තරුණයින් වැරදි මාර්ගයේ යෑම ගැන ඔවුන්ට කරන්නට දෙයක් නැත’ වැනි අදහසක් ප්‍රකාශ කර තිබුණි. අද එදා මෙන් මර්දනයක් නැතත් උද්ඝෝෂණය මැදට පැමිණ, එදා තරුණයින්ට වැරදි මාර්ගයේ යන්නට උත්තේජනයක් වූ බව තමන්ම පිළිගන්නා ගීත නැවත ගයා තරුණයින් වැරදි මාර්ගවල යන්නට පෙළඹවීම, ‘රට පාලනයට උගතුන් වියතුන් අවශ්‍ය බව කියන කෙනෙකුට’ නොගැලපේ. මෙය සමාජය ප්‍රචණ්ඩත්වය කරා යොමුකරවීමකි. ගමේ භාෂාවෙන් කියන්නේ නම්, හෙණ ගහන අපරාධයකි.
දැන් බොහෝ තැන්වල උද්ඝෝෂකයන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹෙන බවට වාර්තා තිබේ. දේපොල ගිනිතැබීම, වාහනවලට පහරදීම, පලස්තීන ක්‍රමයට ගල් ගැසීම වැනි සිදුවීම් වාර්තා විණි. ‘කතාකරගත්ත විදියට අරගලය ප්‍රචණ්ඩත්වයට ගෙනයා යුතු බවත් ධනපති හැත්තගේ ගේfදාර කුඩුකළ යුතුබවත් රටම අමුසොහොනක් කර හෝ ජනාධිපතිත් ආන්ඩුවත් පැන්නිය යුතුබ’ව පවසමින් අ.වි.වි.ශි.බ. මණ්ඩලයේ සාමාජිකයකු බෙදාහැරි පණිවිඩයක් සමාජජාලාවල ප්‍රචාරය වුණි. ‘අන්තරේ’ සිටින්නෝද උගත්තුය.
මෙවැනි සිදුවීම් ඉතා අහිතරකර තත්වයන් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ තිබේ. මේ ආකාරයෙන් ආණ්ඩු විරෝධ අරගල ඇතිකර, නීතිය නොතකා ප්‍රාදේශීයව පාලනය අතට ගන්නා මැර කල්ලි බිහිවූ රටවල් තිබේ. පොලිස් මර්දනයක් ඇතිකර එජා සාම සාධක හමුදාවක් බස්සා රට බෙදීමේ වුවමනාවක් ඇති ඩයස්පෝරාවක්ද ඇත. රටට හිතැති බුද්ධිමතුන් කළ යුත්තේ උද්ඝෝෂකයන් ප්‍රචණ්ඩත්වය කරා ගමන් නොකරන තැනට කටයුතු කිරීමයි.
උගතුන්ට වියතුන්ට රට දෙන්නට කතාකරන බොහෝ දෙනකු හැසිරෙන්නේ ඉතා අඥාන අයුරිනි. බුද්ධිමත් දේශපාලන කතිකාවක නොයෙදෙන ඔවුහු නින්දා අපහාස අවලාදවලින් සටන් දිනන්නට සිතති. කිසිදු සොයාබැලීමකින් තොරව මඩ ප්‍රචාර බෙදාහරින උගත් තරුණ තරුණියන් සමාජජාල වල දැකිය හැකිය. කොවිඩ් වසංගතය අවස්ථාවේ පිරිත් වතුර බෙදීම උපහාසයට ලක්කර මිත්‍යාවෙන් මිදිය යුතු බව කී පිරිස් අද උද්ඝෝෂණ භූමියේ පළිගසති, කට්ටඬින් ගෙන්වා යාතුකර්ම කරති.
දෙවන ලෝක සංග්‍රමයෙන් පසු බටහිර ජර්මනිය ගොඩනැගුනේ ලෝකයට ආදර්ශමත් නිදහස් රටක් ලෙසිනි. 1970 බාඩා මයින්හෝෆ් කල්ලිය හෙවත් රතු හමුදාව (ඊ්ාැර–ඵැසබයදf ඨ්බට – ඔයැ ඍැා ්රපහ ත්‍්ජඑසදබ) බිහිවූ පසු නිදහසේ ජීවත්වූ ජර්මන් වැසියන්ට හැඳුනුම්පත නැතිව ගෙයින් එළියට බැසීමට නොහැකි විය. ලංකාව ජර්මනියටත් වඩා පුද්ගල නිදහසක් පැවති රටකි. මහජනයා භුක්ති විඳි ඒ හැම නිදහසක්ම අහිමිවීම ඇරඹුණේ 1971 කැරැල්ලේ ප්‍රතිඵලයක් වශයෙනි.
1917 රුසියානු විප්ලවයේ සිට මේ තාක් ලෝකයේ සිදුවූ විප්ලව හා කැරලි සියල්ලකම අවසානය සිදුවන්නේ බිහිසුණු මනුෂ්‍ය සංහාරයකිනි. ‘නිර්ධන පන්තිය’ නමැති නම විකුණා දුප්පතුන්ගේ සවියෙන් බලයට පත්වන පාලකයෝ රටේ සාමය පිහිටුවීමට හමුදාවේ සහ පොලිසියේ ආධාරය ලබාගනිති. චීනය, වියට්නාමය, කාම්බෝජය කියුබාව ආදී හැම රටකම විප්ලවයට සම්බන්ධ වූවන් සෑහෙන පිරිසක් හමුදාව සහ පොලිසිය අතින් මැරුම් කෑහ. ස්ටාලින් රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ සියලුම නායකයින් මරා දැමුවේය. ලෙනින්ගේ මරණයත් ඔහුගේ වුවමනාවට සිදුවූවක් වශයෙන් සැලකේ.
ලංකාවේ ආර්ථික, දේශපාලන හ සමාජීය ක්ෂේත්‍රයන්හි විශාල ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුව තිබේ. ගෝඨාභය ජනාධිපති තනතුරට පත් කළ ජනතාව බලාපොරොත්තු වූයේ ඔහු එවැනි පරිවර්තනයකට මුල පාදනු ඇති බවයි. 20 වැනි සංශෝධනය මඟින් ජනාධිපති බලතල වැඩිකෙරෙන විට, අලුත් ජනාධිපතිවරයා වැඩ අරඹනු ඇතැයි ජනතාව බලාපොරොත්තු දල්වාගෙන සිටියහ. එහෙත් ජනාධිපති වියදම් අඩුකිරීම, නිල නිවාසය වෙනුවට නිවස පාවිච්චි කිරීම වැනි දේ සහ කොවිඩ් වසංගතයෙන් රට මුදාගැනීම හැර, සමාජයට දැනෙන වෙනත් යමක් කරන්නට ඔහු අසමත් විය. නිල නිවාසයෙන් බැහැරව ගෙදරට කොටුවීමේ විපාක මෑතකදී ජනාධිපතිවරයා අවබෝධ කරගන්නට ඇත. ජනතා බලාපොරොත්තු ඉටුකිරීම ඔහුගේ වගකීමක් බවත් දේශපාලන යුද්දයේදී නෑදෑකම් පසෙක තැබිය යුතු බවත් අපි මීට කලකට පෙර ජනාධිපතිවරයාට අවධාරණය කළෙමු. හතර වරිගයේ නෑයන් පාර්ලිමේන්තුවට ගාල්කරගැනීමේ හානිය රාජපක්ෂවරුන්ට තේරුණේ හතර අතින් වදින්නට ගත්පසුවය. රෑ වැටුණ වළේ දවලුත් වැටීම, දුරදක්නා පාලකයින්ගේ කාරියක් නොවේ.
දැන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් පමණක් නොව ආණ්ඩුව පිහිටුවීමට සහාය දුන් පක්ෂවලින්ද එල්ල වන රාජපක්ෂ විරෝධය නිසා අර්බුදයකට මුහුණපා සිටියි. මහින්ද රාජපක්ෂ කර තබාගෙන වේදිකා ගානේ ගිය පිරිස් දැන් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටිමින් මහින්ද අගමැතිකමෙන් යන්නේ නම් ආණ්ඩුවට එක්වන බව කියති. රටේත් ආණ්ඩුවේත් ස්ථාවරය භාවය පිළිබඳ බලපෑම් කරන්නට වැඩි වශයෙන් හේතුවී ඇත්තේ මේ සිද්ධියයි. මහින්ද රාජපක්ෂ පළපුරුදු විශාල දේශපාලන අත්දැකීම් ඇති චරිතයකි. ඔහු ජනාධිපති ධුරයට පත්වූයේ ඉතා ඉවසිලිවන්තව වේලාව එනතුරු ඉවසා සිටීමෙනි. අත්හැරීම තමන්ට නුපුරුදු දෙයක් නොවන බව ඔහු මෑතකදීද රටට කීවේය. ඇති තරම් බලය දරා සිට ඇති ඔහුට, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නම්, තමන් සමග මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ කණ්ඩායමේ බහුතර මතයට ගරු කර, රටේ යහපත පිණිස නාමමාත්‍ර අගමැතිකම අත්හැරීම් එතරම් කජ්ජක් නොවිය යුතුය. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයකු වන දිනේෂ් ගුණවර්ධන වැන්නෙකු අගමැති තනතුරට පත් කළ විට මේ අර්බුදය නිම විය යුතුය. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්විය යුත්තේ ඇයිද යන්න පැහැදිලිව රටට කීමද ස්වාධීන කණ්ඩායමේ වගකීමයි.
ජනතාව ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් පත් කළේ එක්තරා කාල පරාසයක් තුළ රට මෙහෙයවන්නටය. හදන්නටය. ඒ කාලයෙන් කොටසක් තවමත් ඉතිරිව තිබේ. රට හැදීමේ අවංක වුවමනාවෙන් කටයුතු කරන්නේ නම්, ඒ සඳහා තවමත් කාලය ඇත. වැටී ඇති තැනින් රට ගොඩට ගෙන යහපත් තැනකට ගෙනයන්නට තවමත් හැකියාව ඇත්තේය. ඒ සඳහා පුළුල් බුද්ධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යය. උගතුන්ට රට දෙන්නැයි ජනතාව කියන්නේ මේ කාරණය සැලකිල්ලට ගනිමිනි. එහෙත් උගතුන් සම්බන්ධ කරගැනීමේදීද ප්‍රවේශම් විය යුතු බවට අප සඳහන් කළ කරුණු කීපය වුව හොඳ පදනමකැයි සිතමු. රටට අවශ්‍යව ඇත්තේ උගතුන් නොව බුද්ධිමතුන්ය. ප්‍රඥාවන්තයින්ය.
ජනාධිපතිවරයාගේ වියදම් අඩු කළ පරිද්දෙන් මන්ත්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ වියදම් අඩු කළ හැකිය. ඔවුන්ට මේ තරම් වරප්‍රසාද කුමකටද? ව්‍යවස්ථාදායකයේ කාර්යය රටට අවශ්‍ය නීති සම්පාදනයයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු රටට නීති සම්පාදනය කරන පිරිසක් විනා, රැකියා දෙන, පාරවල් හදන, මළගෙවල්වල පාළු කපන, විවාහවලට අත්සන් තබන පිරිසක් නොවේ. කිසිදු නීතියක් නොදන්නා, නොතකන ලංකාවේ ගොබ්බ මන්ත්‍රීවරුන් විදේශ මාධ්‍යවල හඳුන්වනු ලබන්නේ ‘නීති සම්පාදකයා’ (ලෝ මේකර්) නමිනි. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනකු කටයුතු කරන්නේ ‘ලෝ මේකර්’ මෙන් නොව ‘ලෝ ඕනර්’ පරිද්දෙනි. රටට වී ඇති නස්පැත්තියට එක් හේතුවක් එයයි. රටකට අවශ්‍ය නීතියක් සම්පාදනය පිණිස දැනුමැති කී දෙනෙක් නම් මේ පාර්ලිමේන්තුවේ සිටිත්ද? මැති ඇමතිවරුන් තමන්ට කෙරෙන වියදම් ලෙස මළගෙවල්, මඟුල් ගෙවල් පිරිමැසීම පිළිබඳව උදාහරණ දුන් අවස්ථා අප දැක තිබේ. ලොකු වැටුප්, ඉන්ධන හා දීමනා අවශ්‍ය මේවාටය. මේ එකක්වත් නීති සම්පාදකයින්ගේ කාර්යයන් නොවන නිසා මැති ඇමති වරප්‍රසාද අඩුකිරීමට ලොකු අමාරුවක් නැත. රට දැය වෙනුවෙන් පෙනීසිටින බව මොර ගසන, දූෂණ වංචා නාස්තියට එරෙහිව මයික් පලන, දේශපාලකයින් කීදෙනෙකු පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම වර්ජනය කර තිබේද? අවුරුද්දක් වැටුප් නොගෙන සේවය කර රට ගොඩගන්නට සහාය වෙමුයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ යෝජනාව ගැන දැන් කාගේවත් හාවක් හූවක් නැත.
පාර්ලිමේන්තුවෙන් අරඹා අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ආදියේ නිලධරයන්ට ලැබන අනවශ්‍ය දීමනා පහසුකම් කප්පාදු කළ හැකිය. මේ ආරම්භය ගන්නේ නම්, රට ගොඩ ගැනීමට කළ යුතුව ඇති ඉතිරි වැඩ ඇරඹීම අපහසු නැත.
කොලට් සේනානායක
නාරද කරුණාතිලක