මේ රට නැවත ගොඩගත හැක්කේ බෞද්ධ පදනම මුල් කරගත් අලුත් වැඩපිළිවෙළක් ඇති රනිල්ට විතරයි…! – වජිර…

February 28, 2021 at 7:05 am | by emanisa.lk

විනාශ වී ගිය මේ රට නැවත ගොඩගත හැක්කේ බෞද්ධ පදනම මුල්කර ගත් අලුත් දර්ශනයක් හා වැඩ පිළිවෙළක් සහිතව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ගොඩ නැගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට බව හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නව සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කරයි.

ඉතිහාසයේ කවරදාකවත් නොවූ පරිදි මේ වන විට රට සමාජ, ආර්ථීක හා දේශපාලන අර්බුද රැසකට මුහුණ පා සිටින බවත් එම තත්ත්වය හමුවේ තව දුරටත් නිහඬව නොසිට රට ආරක්ෂා කර ගැනීම සඳහා නොපමාව පාර්ලිමේන්තුව නියෝජනය කරන ලෙස උගතුන්, බුද්ධිමතුන් මෙන්ම රටේ විවිධ පාර්ශ්ව රනිල් වික්‍රමසිංහගෙන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබෙන බව හිටපු අමාත්‍යවරයා පැවසුවේ ය.

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකළේ පසුගියදා බලපිටිය හා අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශවල පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම් අමතමිනි.

“යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය කඩ කිරීම සඳහා පසුගිය මැතිවරණවලදී වත්මන් ආණ්ඩුවේ පාලකයින් බොරු ප්‍රකාශ ගෙන ගියා. ජාතිවාදය ඇවිස්සුවා. ආගම්වාදය ඇවිස්සුවා. බොරු සටන්පාඨ ගෙන ගියා. එලෙස බොරු කියලා ලබා ගත් ආණ්ඩුව අද වන විට ඉදිරියට ගෙන යෑමට නොහැකි වී ලක් ඉතිහාසයේ බලයට පත් දුර්වලම ආණ්ඩුව බවට පත්ව සිටිනවා.

මේ අය ගෙනගිය බොරු ප්‍රචාර අතර ප්‍රධාන තැනක් ගත්තේ මහබැංකු සිද්ධීයයි. “මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවා” කිව්වා. ඔවුන් බලයට ආව ගමන් මහ බැංකුව කොල්ලකෑව අයට දඩුවම් කරනවා කිව්වා. මේ නිසා ම මේ බොරුවට ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව රැවටුණා.

මේ ආණ්ඩුව බලයට පැමිණ වසරකට වැඩි කාලයක් ගතව තිබෙනවා. නමුත් කාටවත් දඬුවම් කරලා නැහැ. ආණ්ඩුවේ අය කියපු විදියට මහ බැංකුව මහ දවල් කොල්ලකාලා තියෙනවා නම් අධිකරණ එකකින් බැරිනම් දෙකකින් හෝ කඩිනමින් නඩු විභාග කර වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි.

මහ බැංකු සිද්ධීය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළත් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සාමාජිකයෙකු එවැන්නකට සම්බන්ධ නැහැ. ඒ නිසා මේ චෝදනාවෙන් එක්සත් ජාතික පක්ෂය නිදොස් කොට නිදහස් බව කිව යුතුයි. මෙය හුදෙක් දේශපාලන සටන් පාඨයක් පමණයි.

විනාශයට තල්ලු කර තිබුන මේ රට නැවත ගොඩ නැඟිමට නම් දර්ශනයක්, වැඩ පිළිවෙලක් හා නායකත්වයක් තිබිය යුතුයි. ඒ සියල්ල අංග සම්පූර්ණව තිබෙන්නේ එ.ජා.ප.ට පමණයි. රනිල් වික්‍රමසිංහ ජපානය, තායිලන්තය වැනි රටවල මෙන් බෞද්ධ පදනම මත පිහිටා දේශීය සම්පත් ආරක්ෂා කරමින් දේශීයත්වයට මුල් තැන දී නව දර්ශනයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට මේ වන විටත් සැලසුම් කර තිබෙන බව කිවයුතුයි. ඒ වැඩපිළිවෙළ නුදුරු කාලයේ දී අප ප්‍රකාශයට පත් කරනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස