මම සහරාන් හමුවුණේ බුදුන් වහන්සේ ආලවක හමු වුණා වගේ! – රවුෆ් හකීම්

October 19, 2019 at 8:16 pm | by emanisa.lk

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට නායකත්වය ලබාදෙමින් මරාගෙන මැරුණු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග කළ සාකච්ඡාවක වීඩියෝවක් නිකුත් වීම පිළිබඳ ඇමති රවුෆ් හකීම් නිකුත් කළ නිවේදනයක් පහත දැක්වෙයි.

මම මුස්ලිම් ජාතිකයෙකු ඉස්ලාම් භක්තිකයෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා වෙමි. සහරාන් හශීම් යනු උපතින් මුස්ලිම් ජාතිකයෙකි. ඉස්ලාම් භක්තිකයෙකි. අන්තවාදින් කුමන ජාතියක කුමන ආගමක වුව සිටිය හැකි බව ලෝක සහ ලංකා ඉතිහාසය ස්මරණය කර බැලූ විට ඔබට නිතැතින්ම සිහියට නැගෙනු ඇත.

සහරාන් හශීම්ද මුස්ලිම්, ඉස්ලාම් අන්තවාදියෙකු බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මෙලොව මිනිසෙකුට උගහටම දෙය අනික් මිනිසුන් තේරුම් ගැනීමයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ශයක නායකයෙකු ලෙස, ස්ව ජාතියේ ස්ව ආගමේ තවත් මිනිසෙකු හමුවීම වරදක් දැයි මම ඔබෙන් විමසමි.

වරද වන්නේ අප කුමන හෝ නොකල යුතු දෙයක් සාකච්චා කලේ නම් එයයි. මගේ මතකයට අනුව එදා ඔවුන් ඔවුන්ට රුචි නොවූ අයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයක් ලබා නොදෙන ලෙස ඉල්වූහ. එවැනි ඉල්ලීම්, යෝජනා, චෝදනා දේශපාලනයෙහි දුලබ නැත. තීරණ ගැනීම කෙසේ වෙතත් අනුන්ට ඇහුම්කම් දීම වරදක් නොවේ.

බුදුරජානන් වහන්සේ ආලවක දමනය කලේ ඔහුගේ ගෙට ගොස් ය. අන්‍ය ආගමිකයන්, ප්‍රාදේශිය ආගමික නායකයන් සමග උන් වහන්සේ වාද, සංවාද කල බැව් සූත්‍ර පිටකයේ දීඝ නිකාය ප්‍රමුකව අනෙකුත් ත්‍රිපිටක හා පශ්චාත් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ඔබ උගත යුතු බව මතක් කර දෙමින්, මා ඔබට ආරාධනා කරන්නේ අංගුත්තර නිකායේ කාලාම සුත්‍රය පරිශීලනය කරන ලෙසය. ඔබ දකින දෙය ඔබ හිතන දෙය නියම සත්‍යය නොවේ.

රවුෆ් හකීම්,
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස