මම ජනාධිපති වෙලා යල්පැනගිය ව්‍යවස්ථාව වෙනස් කරලා අපනයන ආර්ථිකයක් හදනවා! – මහේෂ් සේනානායක

September 30, 2019 at 12:26 pm | by emanisa.lk

රටට ආදරය කරන මිනිසුන් සමඟ එක්ව රට හදන අරමුණ මිස රටේ ජනාධිපතිවරයා වීමේ පෞද්ගලික අරමුණක් තමා තුළ නැතැයි හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට නම් කරන ලද හිටපු යුද හමුදාපතිවරයා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති ජාතික ජනතා ව්‍යාපාරයේ මහජන සභාවේදී එසේ පැවසීය.

රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීම සඳහා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවැසූ හිටපු යුද හමුදාපතිවරයා තමන් සමඟ උගතුන්, බුද්ධිමතුන් මිස හොරුන් වංචනිකයන් නොමැති බවද සඳහන් කළේය.

යල් පැනගිය ව්‍යවස්ථාව හා නීති පද්ධතිය වෙනස් කර එක් රටක් තුළ එක නීතියක් ඇතිකිරීම, දේශීය නිෂ්පාදන ඉහළ නංවා අපනයනය ආර්ථිකයක් ඇති කිරීමට තමන් කටයුතු කරන බවද සේනානායක මහතා කීවේය.

ස්වාධින අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටගත් තීරණය පෞද්ගලික තීරණයක් නොවන බවද පැවසූ හිටපු යුදහමුදාපතිවරයා රටට අවශ්‍ය වන්නේ ස්වාධින රාජ්‍ය නායකයෙක් පමණක් බවද සඳහන් කළේය.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, ජාතික බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අජිත් කොලොන්නේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස