පටු දේශපාලන වුවමනා වෙනුවෙන් බුද්ධි අංශ ඔත්තුකරුවන්ගේ ලැයිස්තු ඉල්ලීම සම්පූර්ණයෙන් වැරැදි බවද දේශපාලන වුවමනාවන් ඉටු කිරීමට යෑමේදී රටෙහි ජාතික ආරක්ෂාවේ ගැටළු ඇති වන බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (30) පස්වරුවේ තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි.
“ඔත්තු සොයන්න නම් සංවිධාන ඇතුළට ඇතුළු වෙන්න ඕනෑ. ඒක ඕනෑම රජයක්, පොලිසියත් කරන දෙයක්. මේ සංවිධානය හැදෙන කොටම කණ්ඩායම් ඇතුළු කරලා තිබුණා අපේ බුද්ධි අංශවලින්. ඒ අයට ලබාගන්න තොරතුරකට ඔත්තුකරුවාට මාසෙකට මුදලක් ගෙවන්න සිදුවුණා. ඒක අල්ලගෙන අද ඒ ලැයිස්තු ඉල්ලනවා. චෝදනා ඉදිරිපත් කරලා මේ අයගේ පටු දේශපාලන වුවමනාව ඉටු කරන්න, මඩ ගහන්න ඕනෑකමට මේ අය ඒවා හෙළිදරව් කරන්න ප්‍රශ්න කරමින් ඉන්නවා. මෙය සම්පූර්ණයෙන් වැරැදියි.”
“ඔත්තු සේවයක් හෝ යම් රහස්‍ය භාවයක් තිබෙන යම් දේවල් පිළිබදව කතා කරන්න ඕනෑ මුළු රටත් එක්ක නෙවෙයි. වගකීමෙන් යුක්තව ඒ පරීක්ෂණ කරන්න ඕනෑ. ආවට ගියාට මඩ ගහන්න, කාටහරි ඉලක්ක කරගෙන දේශපාලන වුවමනාව ඉටු කරන්න ගිහිල්ලා මේ රටේ ජාතික ආරක්ෂාවටයි ගැටළු ඇතිවෙන්නේ. එය දැන් කෙරීගෙන යනවා. මේ දේවල් ගැන රට තුළ අවධානය යොමු විය යුතුයි.”
“බෝම්බ පිපිරෙන්න කලින් රටේ තිබුණු තත්ත්වයත් බෝම්බය පිපිරුණාට පසුව තිබෙන තත්ත්වයත් ශෝචනීයයි. මේ පිළිබදව තොරතුරු ආණ්ඩුවට කලින් ලැබිලා. අපිට දැනගන්න තිබෙන්නේ හතරවැනිදා ලැබුණා කියලායි. එදා සාක්ෂිවලින් කියවෙනවා ලැබුණේ නව වැනිදා කියලායි. එහෙම නව වැනිදා ලැබිලාත් දවස් දොළහක් විතර කිසිම දෙයක් සාකච්ඡා කර නොමැති බව සාක්ෂිවලින් ඔප්පු වෙමින් පවතිනවා.”
” මේ අය හාර හාර අවුස්සනවා සංවිධානයකට සල්ලි දුන්නද? ඒ සංවිධානයේ ඇතුළේ සමහර අයට සල්ලි ගෙවුවද? කියලා. ඒ නිලධාරියා කියනවා ඔව්, එහෙම දේවල් සිදුවෙනවා. හැබැයි මම කැමැති නැහැ එවැනි දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්න. පෞද්ගලිකව කතා කළොත් හොඳයි කියලා.”
“මොකක්ද මේ කරන්න හදන්නේ. මිලේනියම් සිටි ප්‍රශ්නය ආපු වෙලාවේ නම් හෙළිදරව් කළායින් පසුව එල්ටීටීඊ එක එකින් එක ඇවිත් ඒ අයව මරලා දැම්මා. ඒ සංවිධානයේ හිටපු අපේ ක්‍රියාකාරී හමුදාවේ ගණනාවක් මරලා දැම්මා. එක්කෙනෙක් යන්තම් බේරගත්තා ලංකාවෙන් පිටට ගිහිල්ලා.”
“මේ කාලය තුළ ඉතාමත් පරිස්සම් විය යුතුව තිබෙනවා. අද අපිට කියනවා දැන් ඔක්කොම හරි, 99%ක්ම හරි කියලා. හැබැයි 1%ක් තිබෙනවා. අපිට ඔය 1% ගැන තමයි ප්‍රශ්නය තිබෙන්නේ.”