ආගමික අන්තවාදයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීමයි! බුද්ධි අංශ නිලධාරීන් වහාම නිදහස් කරනු! – අස්ගිරි සංඝ සභාව

April 25, 2019 at 12:18 pm | by admin

ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා බුද්ධි අංශ නිලධාරින්ට පොදු සමාවක් දීමට වහාම කටයුතු කළ යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව අවධාරණය කරයි. අස්ගිරි පාර්ශ්වය පවසන්නේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහිව එම පිරිස සිදු කළ ජාතික මෙහෙවර සුළුපටු නොවන බවයි.

වර්තමානයේ ආගමික අන්තවාදය රට තුළ ශක්තිමත්ව ව්‍යාප්ත වූයේ පළ පුරුදු ආරක්ෂක බුද්ධි අංශ නිලධාරීන් විශාල පිරිසක් විවිධ හේතු මත සිරගත කර සිටීම නිසා බවත් මාවනැල්ලේ බුදු පිළිම වැනසු අවි ආයුධ ගත් ආගමික ත‍්‍රස්තවාදීන් කිසිදු විභාගයකින් තොරව නිදහස් කිරීමට දේශපාලඥයින් ක‍්‍රියාකර ඇති බවත් අස්ගිරි පාර්ශ්වය පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක ඉස්ලාම් ආගමික අන්තවාදී කණ්ඩායම් සිදු කරන සාහසික ක‍්‍රියා හේතුවෙන් රටේ උද්ගතව ඇති ව්‍යසනය වළක්වා ගැනීමට මෙම ක‍්‍රියාමාර්ග ගතයුතු බව අස්ගිරි පාර්ශ්වය සිය විශේෂ නිවේදනය මගින් අවධාරණය කරයි. ‍

ආගමික අර්බුදයේ යථා ස්වභාවය හඳුනා නොගෙන විදේශීය බලපෑම්වලට යටත්ව වෛරි පක්ෂ දේශපාලනයට වහල්ව කටයුතු කරන්නේ නම් එම රාජ්‍ය නායකත්වය නිසැකවම ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වන බව එම ලිපිය මගින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු වගකීම් දරන සියලු දේශපාලනඥයින්ගේ අවධානය පිණිස මෙම ලිපිය යොමු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස