බැඳුම්කර හොරකම ගැන මහ බැංකුව හැදූ වාර්තාව සභාගත නොකිරීම වැරදියි! – එජාපයෙන් නීතිපතිට එරෙහිව යෝජනාවක්…

January 19, 2020 at 9:11 am | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි පිළිබඳව සිදුකළ වෝහාරික විගණන වාර්තාව ප්‍රකාශයට පත් කිරීම නතර කිරීමට නීතිපති දප්පුල ලිවේරා කටයුතු කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

එම යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විසින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2010 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසිවලට අදාළව මෙම විගණන වාර්තාව සකස්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඇමෙරිකාවේ බැඳුම්කර වෙන්දේසි විගණනය කරන සමාගමක් ඒකාබද්ධව මෙම විගණන වාර්තාව සකස් කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන පන්සියයකට අධික මුදලක්ද වැය වී තිබේ.

කෙසේ වෙතත් මෙම විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම අත්හිටුවන ලෙස නීතිපතිවරයා කථානායකවරයාට දැනුම් දී තිබුණි. ඒ අනුව විගණන වාර්තාව ප්‍රකාශයට පත් කිරීම නතර වී ඇත. එහෙත් පාර්ලිමේන්තුව උත්තරීතර බව සලකා නීතිපතිවරයාට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

කෙසේ වෙතත් වෝහාරික විගණන වාර්තාව පිළිබඳ ලබන 21 වනදා අවසන් තීරණයක් ගන්නා බව කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කර ඇත.

මේ අතර මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ මහ බැංකුව විසින් ලබා දෙන වාර්තා අතිශය පක්ෂග්‍රාහී බවත් එම විගණනය කළ යුත්තේ විගණකාධිපති විසින් බවත් සෙසු පාර්ශව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස