පරාක්‍රම සමුද්‍ර බැම්ම උඩින් බර වාහනවලට යන්න හොඳ නම් මිනිස්සු ඇවිදින ජෝගිං ට්‍රැක් හොඳ නැත්තේ ඇයි…! – අනුනාහිම…

September 24, 2021 at 3:51 pm | by emanisa.lk

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම මතින් සියලු ම බර වාහනවලට යාමට හැකි නම් මිනිස්සුන් ඒ මතින් පයින් යාම ගැටලුවක් වෙන්නේ කෙසේදැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වාද්දුව ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ විමසති.

අනු නා හිමියෝ එසේ විමසුවේ, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ අනුනාහිමියෝ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදීය.

එහිදී පරාක්‍රම සමුද්‍රයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අනුනාහිමියෝ දැනුවත් කළේය.

එහිදී තවදුරටත් අනු නාහිමියෝ මෙසේද අනුශාසනා කළහ.

පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම උඩින් රොෂාන් රණසිංහ ඇමතිතුමා එම කාර්යය රහසිගතව සිදු කරපු එකක් නොවේ. අදාල සියලු අංශ දැනුවත් කරලා, විශේෂයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන්, නාගරික සංවර්ධන අධිකාරිය, යන ආයතන වලින් අවසර අරගෙන නගර ප්‍රධානීන්ගෙන්, දිසාපතිවරයාගෙන් අවසර අරගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් විදිහට තමා එතුමා සඳහන් කළේ.

ඇත්ත වශයෙන්ම මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ දේශපාලන වාතාවරණය, සමාජමය වාතාවරණය පිළිබඳ අපට තියෙන්නේ ලොකු කල කිරීමක්. බොහෝ කටයුතු මේ රටේ සිදු වන්නේ අවංකව නෙමෙයි කියන එකයි පැහැදිලි වෙන්නේ.

දැන් දේශපාලන ක්ෂේත්‍රය ගත්තහම දේශපාලන ක්ෂේත්‍රයේ පක්ෂ විපක්ෂ වැඩි දෙනෙක් කරන කතා බහ මාධ්‍යවලින් අපි දකිනවා. මේ අදහස්වලින් පැහැදිලි වන්නේ බොහෝ දෙනෙක් කතා කරන්නේ එකක් හිතේ තියාගෙන බවයි. මම කියන එක බොරු නම් මධ්‍යස්ත ජනතාව හොඳට හිතල බලන්න මධ්‍යවලින් යන දේශපාලන අදහස් කොයි වගේ ද, කියලා. හැමෝම ඉන්නේ අන්තයෙහි. හැමෝගේම අදහස උඩින් තියෙන එකට වඩා යටි බලාපොරොත්තුවක් කියන එක පැහැදිලි. මේකට කියන්නේ කුහකකම කියලා. මේ අද ඊයේ නොවේ අවුරුදු ගණනාවක ඉඳල අප රටේ උද්ගත වෙමින් පවතින බරපතල ව්‍යසනයක් කියලයි මම දකින්නේ.

දැන් මීට අවුරුදු ගණනාවකට පෙර අප රටේ සිදු වුණ සංවර්ධන වැඩසටහන් ගත්තහම පහුගිය අණ්ඩුවකදී මට මතකයි මේ රටේ ජනතාවගේ යහපත පිණිස සුවසේවා ගිලන් රථ ගෙනාව. මෙම රථ ගෙන්න කලින් රටේ ලොකු සමාජ මතයක් කවරු කවරු හරි එකතු වෙලා ගොඩනැගුව. මේක මහා බරපතල වැරැද්දක් ඉන්දියන් ආක්‍රමණයක්, මේ වාහනය එලවන්නේ ඉන්දීය ජාතිකයෝ රට අක්‍රමණය වෙනවා, රැකියා නැතිවෙනවා, දැන් බලන විට පේනව එය හොඳ වැඩක් විදිහට. මේ අවස්ථාවේදී එම වහනවලින් රටේ සෞඛ්‍ය ගැටළුවට කොයි තරම් ප්‍රයෝජනය වී තිබෙනවා ද. ඒකලේ යම් යම් අය කතා ගොතලා එම වැඩය නවත්වන්න උත්සහ ගත්ත කියලා මම හිතනවා.

දැන් බලන්න අපේ රටේ අධිවේගී මාර්ග හැදෙන විට කොයි තරම් පිරිසක් මෙයට විරුද්ධ වුනාද දැන් බලන විට අධිවේගී මාර්ග වටිනවා කාටත් ඕනේ කවුරුත් මේ වයින් යනවා. විරුද්ධ වෙච්ච අයත් යනවා.

දේශපාලනඥයෝ හිතනවා විරුද්ධ පක්ෂය කියන්නේ හැම දෙයකටම විරුද්ධ වීම කියල. හොද වැඩය හොඳයි කියල නිහතමානී වෙන්න දේශපාලනඥනයන්ට පුළුවන් වෙන්න ඕන. නරක වැඩය නරකයි කියල ඒවාට හේතු දක්වලා පැහැදිලි කරල දෙන්න පුළුවන් වෙන්න ඕනැ.ඒකයි ප්‍රතිපක්ෂය කියන්නේ.

මෙම ව්‍යසනයේදී දැන් අපිට පේනව පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර තිබුන මේ දේශපාලන පැටැලැවිල්ල පක්ෂ අතරටත් ඇවිල්ල. පක්ෂ අතරම ඉන්න අය එක් අයෙක් සංවර්ධනයක් එම පළාතේ සිදු කරන විට තව කෙනෙක් විරුද්ධ වෙනවා. එකම පක්ෂයේ අය දැන් වාද බේද වෙනවා. එකම පක්ෂයේ අයත් මාධ්‍යයට ඇවිත් ඔවුනොවුන්ට විරුද්ධව කතා කරනවා. එය නරක තත්වයක්. ඒ නිසා මම ඉල්ලා සිටිනවා දේශපාලනඥයන්ගේ පිරිහුණු චරිත ලක්ෂණ සමාජයට ප්‍රකට කලාට,මේ රටේ ඉගෙන ගත්ත විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා, මේ රටේ පරිණත මිනිසුන්, ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මේ දේශපාලනඥයන්ගේ පස්සේ ඉඳගෙන දේශපාලඥනයන්ට උදව් කරමින් හොඳ දෙයත් නරකයි කියමින් නරක දෙයත් හොඳයි කියමින් කටයුතු කරන සංස්කෘතිය නැති කර ගන්න ඕනැ.

මම දකිනවා පරාක්‍රම සමුද්‍රය ඉස්මත්තේ ඉඳිවෙන මෙම අඩි පාර ඉඳි කිරිම පිළිබඳව රටේ කතා බහක් ඇති වෙලා තියෙනවා. මහා සංඝරත්නයත් බේද බින්න වෙලා තියෙනවා. එසේ නොවී මහා සංඝ රත්නය එක් මතයකට ඇවිල්ලා එම ප්‍රදේශයේ හාමුදුරුවෝ සහ නායක හාමුදුරුවෝ එකතු වෙලා එක තීරණයකට ඇවිල්ල එම ප්‍රදේශයේ සිටින දේශපාලනඥනයෝ එක තිරණයකට ඇවිල්ලා මෙම කටයුතු ක්‍රියාත්මක වෙනවා නම් හොදයි කියලා මම හිතනවා.

රොෂාන් රණසිංහ ඇමතිතුමා මට කිව්වේ මෙයට අවශ්‍ය සියලු ම අනුමැතීන් ලැබිලා තියෙන්නේ කියලා. මම දකින එක දෙයක් තියෙනවා අප රටේ අනාගතය අපිට ගොඩ ගන්න පුළුවන් නම් වැදගත් ක්ෂේත්‍රයක් තමා සංචාරක ව්‍යාපාරය. ඒ සඳහා අවශ්‍ය පසු බිම අපේ රටේ ගොඩ නැගෙන්න ඕනැ. මේ අපේ තිබෙන වැව් සංස්කෘතිය පුරාවිද්‍යා ස්ථාන සියල්ලක්ම රැකෙන්න ඕනැ. ඒවා රැකෙනවා කියන්නේ කැළයට යවන එකවත්, අදාළ තැනට යන්න බැරි වෙන්න තියෙන එකත් නොවේ. එම නිසා මේ රටේ පරාක්‍රම සමුද්‍රය උඩින් බස් යනවා, ලොරි යනවා නොයෙක් නොයෙක් බඩු පටවගත් ගල්පටවා ගත් ඇතැම් විට විශාල බර පටවා ගත් වාහන අනන්තවත් යනවා, මෙම වැව් බැම්ම උඩින්. එච්චර බර දේවල් යන්න මෙම වැව් බැම්ම ශක්තිමත් නම් මිනිසුන්ට පයින් යන්න මෙම මාර්ගයේ ගල් ටිකක් දමා පොඩ්ඩක් සකස් කිරීම බරක් ද කියන එක මට නම් ප්‍රශනයක්.

මධ්‍යස්ථව බලන කොට පේනව මේක මහ ලොකුවට කෑ ගහලා බේද බින්න වෙලා දේශපාලඥනයොත් මහා සංඝ රත්නයත් එකතු වෙලා මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරන මට්ටමට සිදු කරන මෙම බොරු කොලහාලය නවත් වන්න ඕනේ කියලා.

දැන් අපි දකිනවා මහනුවර වැව් වැව රවුම වටේට ඔය කියන ලෙස වැව් රවුම නොහැදුවානම් සුන්දරත්වයක් දකින්න බැහැ. එම වැව හොදට ආරක්ෂා වෙලා තියෙනවා. මම හිතනවා මීට කලින් පරාක්‍රම සමුද්‍රයේ හෝටල් හදල තියෙනවා. ගෙවල් හදල තියෙනවා මහ රැජිණගේ කාලයේ රෙස්ටවුස් එකක් හදල තියෙනවා. වැවටම කණු සිටුවලා තියෙනවා. එසේ තිබියදී පටු මාවතක් වැව අයිනෙන් පයින් ගමන කිරීමට සකස් කිරීම වරදක්ද කියලා මට හිතෙන්නෙ නැහැ.

නමුත් අදාල අංශ එයට සම්පූර්ණ සහතිකය දෙනවා නම් එබඳු දෙයක් කලයි කියලා වරදක් නැහැ. මේකට අපි පක්ෂවලට විපක්ෂවලට මහා සංඝරත්නය බේද බින්න කරගෙන පාර්ශ්ව ගොඩ නාගගෙන කටයුතු කිරීම බොහොම වැරදියි. හොඳ නම් හොදයි කියන්න නරක නම් ප්‍රතික්ෂේප කරන්න ඒක තමයි අපේ රටට අවශ්‍ය කියලා මම හිතන්නේ.

ප්‍රසන්න අධිකාරි
මාධ්‍ය ලේකම්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස