කොළඹ වරාය නගරයේ අක්කර 35ක මහජන උද්‍යානයක්! ළමා උද්‍යාන, විනෝද උද්‍යාන, ඇවිදින මංතීරු, පාපැදි මංතීරු, ජල ක්‍රීඩා කළාප ඇතුළු සියලු පහසුකම්!

June 11, 2020 at 10:08 pm | by emanisa.lk

කොළඹ වරාය නගරයේ මහජන උද්‍යාන ඉදිකිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එම උද්‍යාන ලබන වසරේදී මහ ජනතාවට විවෘත කිරීමට හැකි වන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි කොළඹ වරාය නගරයේ ඉදිකිරීම කටයුතු සිදු කෙරෙන අතර ප්‍රධාන කලාප 5ක් යටතේ මෙම ඉදිකිරීම කටයුතු සිදු කෙරේ.

මෙම මහජන උද්‍යානය අක්කර 35කින් සමන්විත අතර තම දරුවන් සමඟ ජනතාවට විවේකී සුවයෙන් ගත කළ හැකි පරිදි ඉතා ආකර්ෂණීය ආකාරයට මෙහි සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

ළමා උයන, විනෝද ක්‍රීඩා, උද්‍යාන අසලින් නිර්මාණය කර තිබෙන ඇළ මාර්ගයේ ජල ක්‍රිඩා කටයුතු සිදු කිරීම ඇතුළු දරුවන්ට ක්‍රීඩා කළ හැකි ස්ථාන සකස් කෙරෙමින් පවතී.

පොල්, තල් ගස් ඇතුළු දේශීය ශාක වර්ග රැසක් මෙහි රෝපණය කර ඇති අතර පරිසර හිතකාමී ආකාරයට තිරසර සංවර්ධනය යටතේ මෙහි ඉදිකිරීම කටයුතු සිදු කෙරේ.

ඇවිදින මංතීරු,පදිකයන්ට සහ පාපැදිකරුවන්ට ගමන් කළ හැකි වන පරිදි කොළඹ වරාය නගරය තුළ මංතීරු සකස් කෙරෙමින් පවතී.

ගාලු මුවදොර පිටිය මෙන් තුන්ගුණයකින් මෙම මහජන උද්‍යානය සමන්විත වන අතර ගාලු මුවදොර සිට ඕනෑම අයෙකුට පහසුවෙන් ඇවිදගෙනම කොළඹ වරාය නගරය මධ්‍යයේ පිහිටි මහජන උද්‍යානයට පැමිණිය හැකිවන පරිදි පිවිසුම් මාර්ගයක්ද සකස් කෙරේ.

මීට අමතරව කොළඹ වරාය නගරයේ විදුලිය, ජලය, සන්නිවේදන පහසුකම්, අප-ජලය, වැසි ජලය භූගතව ගමන් කෙරෙන යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතුද මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සංකල්පයකට අනුව කොළඹ වරාය නගර ව්‍යපෘතිය ආරම්භ වන්නේ 2014 වර්ෂයේදීය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදිවන මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 14ක් වන අලුත් භූමි භාගයකි. සමස්ථ ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15ක් වන නවතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි මුහුද ගොඩ කිරීමෙන් බිහි කෙරෙන හෙක්ටයාර් 269ක මෙම අලුත් භූමි ප්‍රමාණය වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයට සහසම්බන්ධීකරණය කෙරේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යානය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගණය හා දූපත් වාසය ලෙස අනු කලාප 5කින් සමන්විතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස