දෙවනගල පුදබිම රකින්න නිලධාරීන් පෙරට! ඉඩම් කොල්ලකාරයින්ට තරු පෙනෙයි!

June 5, 2020 at 8:07 am | by emanisa.lk

​ඓතිහාසික මාවනැල්ල දෙවනගල රජමහ විහාරයේ මේ වන විට ඇති වී ඇති ඉඩම් ගැටලුව මෙන්ම පුරාවිද්‍යා සම්බන්ධ ගැටලුව නීත්‍යනුකූලව විසදීම සඳහා රාජ්‍ය අංශය කටයුතු කරන බව පෙරේදා (03 වැනිදා) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත් වූ සාකච්ඡාවකදී තීරණය විය.

දෙවනගල පුරාවිද්‍යා බිම් ආශ්‍රිත මතුව ඇති ගැටලුව නීත්‍යනුකූලව විසදීම වෙනුවෙන් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව , කෑගල්ල දිසාපති මහින්ද එස් .වීරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත් විණි.

මේ සම්බන්ධයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන්ගේ ප්‍රචාරණයත් සමග එම දිනයේ පෙරවැවේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස් මහනුවර ලලිත් ඇටම්පාවල සහභාගි වී විහාරස්ථානයේ වැඩවාසය කරන භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වීය.

දෙවනගල පුරාවිද්‍යා බිම ආශ්‍රිත මෙම ගැටලුව නීත්‍යනුකූලව විසඳීම සඳහා අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිත අතර ගැටලු විසඳීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡාවට බඳුන් කෙරිණි. බෞද්ධ කටයුතු කොමසාරිස් මහනුවර ලලිත් ඇටම්පාවල සාකච්ඡාවට එක්විය.

මෙම ගැටලුව සම්බන්ධව මේ වන විට විශාල සමාජ කථිකාවක් ගොඩ නැගී ඇත. මෙම පූජනීය භූමිය පුරාවිද්‍යා වටිනාකම්වලින් හෙබි කූරගල මෙන්ම මුහුදු මහ විහාරයට වඩා ඈතට ගිය ඉතිහාසයක් පවතින ස්ථානයක් ලෙස සැලකේ.

මෙහි කටයුතු සම්බන්ධයෙන් බලධාරීන්ගේ මෙන්ම වගකිව යුත්තන්ගේ හා පුරාවිද්‍යා නිලධාරීන් ඇතුළු රටේ ජනාධිපතිවරයාගේ සිට පහළම ශ්‍රේණියේ පුද්ගලයා දක්වා අවදානය යොමු වීම නිසා මෙම ඉඩම් අයථා ලෙස අත්පත් කරගෙන සිටින පුද්ගලයින් කලබලයට පත් වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස