දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙනගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ඕන! දරුවෝ සතුටින් නැත්නම් ටැබ් දීලා වැඩක් නෑ! – අගමැති

October 3, 2020 at 6:40 am | by emanisa.lk

දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි.

අගමැතිවරයා මේ බව සඳහන් කෙළේ බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ ඊයේ (2) පෙරවරුවේ පැවැති ලෝක ළමා දින ජාතික උත්සවය අමතමිනි.

‘අපේ රට – අපේ දෑතින්’ යන්න තේමාව කරගත් මෙම උත්සවය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම අමාත්‍යාංශය විසින් සංවිධානය කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ අගමැති මහින්ද රාජපක්ෂ මෙසේද පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපානවා. අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කළ ද දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නොවෙයි නම් එයින් ඵලක් වන්නේ නෑ. දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් මෙන්ම නැවත තමන්ගෙ ඉලක්ක ජය ගන්න පුළුවන් රටක් බාරදිය යුතුයි.

ලෝක ළමා දිනයට සමගාමීව දරුවන් වෙනුවෙන් මේ වගේ උත්සවයක් පැවැත්වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන් දරුවන් වෙනුවෙන් බිත්තිවලින් වටවුණු ශාලාවක දේශනයක් පවත්වනවාට වඩා අපේකම මතක් වෙන විදිහට අපේ ගමේ මේ උත්සවය පවත්වන එක ගැන මම ඉතාමත් සතුටුයි. ඒ වගේම මේ දිනය අපේ දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් එළිදක්වමින් පවත්වන්න ඇමැතිතුමන් උත්සහ ගැනීම ඉතාම කාලෝචිතයි කියලා මම හිතනවා. මේ දරුවන් අතරින් සියලුම ජාතීන්ට, සියලුම ආගම්වලට අයත් දරුවන් ඉන්න බව මට පේනවා. ඒක තමයි මම මේ රටේ වැඩියෙන්ම දකින්න කැමති දර්ශනය. ඒ වගේම සියලු ජාතීන් ආගම්වලට අයිති දරුවන් ඒකරාශී කර ගැනීම ගැනත් මම ස්තූතිවන්ත වෙනවා. 2005 දී ,මීට අවුරුදු 15 කට කලින් මම ජනතාව අමතලා කිව්වා අපි එදා මුහුණ දෙන ප්‍රශ්න අනාගත පරපුරට භාර දෙන්නේ නැති රටක් හදනවා කියලා. 2005 දී ඉපදිලත් නැති දරුවෝ අද මේ සභාවේ ඉන්න පුළුවන්. ඒ දරුවන්ට එදා තිබූ ඉතිහාසය ගැන මේ මොහොතේ මම මතක් කරන්න ඕනෑ.

එදා මේ රටේ යුද්ධයක් තිබුණා. අද වගේ නිදහසේ ගමන් බිමන් යන්න බෑ. කොයි මොහොතේ බෝම්බයක් පුපුරලා මැරිලා වැටෙයි ද කියන්න බැරි රටක් තිබුණා. කිලෝ මීටර් හතරෙන් පහට හැම තැනම චෙක් පොයින්ට් තිබුණා. බස් එකෙන් බැහැලා කිහිප පොලක පරීක්ෂාවට ලක්වෙලා තමයි ගමනක් යන්න වුණේ. හැම ගමකම යුද්ධයේ මළ ගෙයක් තිබුණා. උතුරු නැඟෙනහිර පළාත්වල ලක්ෂ ගණන් බිම් බෝම්බ වළලලා තිබුණා. ඒ වේලාවේ බොහෝ දෙනෙකුට කකුල් අතපය අහිමි වුණා. ගාලු පාරේ නිතරම තුවාල ලබපු අය රෝහල්වලට ගෙන යන ගිලන් රථ එහා මෙහා ගියා. ඒ විතරක් නොවෙයි එදා දහස් ගණන් දරුවෝ උපන්නේ අනාථ නිවාසවල. ඉස්කෝලේ ගියේ යුද්ධයෙන් අනාථ වුණ අය ඉන්න කූඩාරම්වල ඉදලා. 2005 දී අපි ජාතිය අමතලා මුලින්ම කිව්වා අපි මුහුණ දෙන ප්‍රශ්න අනාගතයට භාර දෙන්නේ නෑ කියලා. අද ඒ අනාගතය උදා වෙලා තියෙනවා. එදා පරපුර මුහුණ දුන් ප්‍රශ්න අද මා ඉදිරියේ ඉන්න දරුවන්ට මුහුණ දෙන්න වෙලා නෑ. එදා විදුලිය තිබුණේ රටෙන් කොටසකට. කාපට් කරපු පාරවල් මේ රටේ තිබ්බේ අතළොස්සයි.

පරිගණක සාක්ෂරතාව තිබුණේ ජනගහනයෙන් සීයට පහකට විතරයි. ඒවා නිසා ඇති වූ ප්‍රශ්න අද මේ පරපුරට මුහුණ දෙන්නේ නැති රටක් අපි හැදුවා. කොවිඩ් -19 වසංගතය ආපු වේලාවේ මේ රටේ ලක්ෂ ගණන් දරුවන්ට පරිගණක සාක්ෂරතාව භාවිතා කරලා ඉස්කෝල වැඩ කරන්න පුළුවන් වුණේ අපි එදා නවීන තාක්ෂණය රටේ දියුණු කළ නිසයි. නැණසල මධ්‍යස්ථාන පිහිටුවා රටේ ම දරුවන්ට පරිගණක තාක්ෂණය පුරුදු කරන්න අපි එදා වැඩ කළා. ඈත පළාත්වල දූ දරුවෝ විශ්වවිද්‍යාලයට අයැදුම් කරන්නේ මේ නැණසල හරහා බව අපි දන්නවා. ඒ නිසා දුවේ, පුතේ, මම කියනවා අද අපි යම් ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම්, ඒ ප්‍රශ්නවලටත් අනාගතයේ මුහුණ දෙන්න වෙන්නේ නැති රටක් අපි හදනවා කියලා. අපි කුඩා කාලයේ ඉදලම දරුවන්ව බෙදනවා. දරුවන්ට බෙදෙන්න, බෙදිලා ජීවත් වෙන්න මඟ පාදා දෙනවා. අද සිංහල දරුවෝ සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවෝ මුස්ලිම් ඉස්කෝලවල, හින්දු දරුවන්ට වෙනම ඉස්කෝල. කුඩා කාලයේ ඉදන්ම දරුවන්ව වෙන් වෙන්ව තියලා උගන්වලා අපි ඒ ගොල්ලො ලොකු මහත් වුණාම කියනවා එකතු වෙයල්ලා කියලා.

අධ්‍යාපනයේ දී බෙදිලා වෙන් වෙලා ඉගෙන ගත් අය වැඩිහිටියෝ වුණාට පස්සේ එකතු වෙන්නේ කොහොම ද කියන ප්‍රශ්නය අද අපේ ජාතිය හමුවේ කියනවා. ජාතිය, ආගම හැටියට විතරක් නොවෙයි මේ දරුවන් ඉස්කෝල හැටියටත් පොඩි කාලෙම බෙදනවා. ජාතික පාසල්වල දරුවෝ, සුපිරි පාසල්වල දරුවෝ, පළාත් සභා පාසල්වල දරුවෝ, ජාත්‍යන්තර පාසල්වල දරුවෝ කියලා දරුවෝ බෙදනවා. පොඩි කාලෙම බෙදිලා වෙන් වෙලා පන්ති හැටියට ජීවත් වෙන්නයි අපේ දරුවන්ට උගන්වන්නේ. එක නීතියක් එක රටක් ඕනෑනම් බාල කාලයේ සිට මේ බෙදීම අවසාන කරන්න ඕනෑ කියලා මම විශ්වාස කරනවා. අද මේ දරුවන්ගෙන් ඇහුවොත් දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක් ද කියලා දරුවෝ කියයි ඉගෙන ගැනීම කියලා. දරුවන්ගෙන් ඇහුවොත් ඔබට තියෙන ලොකුම බර මොකක් ද කියලා දරුවෝ කියයි විභාගවල බර කියලා. අපි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගොඩනැඟිලි දහස් ගණන් හැදුවත්, ඒවා වායු සමීකරණය කළත්, පොත්පත්, ඇඳුම්, සපත්තු, ටැබ් දුන්නත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ සතුටින් නොවෙයි නම්.

අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නොවේ නම්. ඒ නිසා අධ්‍යාපනයට මුදල් වෙන් කරනවාට වඩා දරුවන්ට නිදහසේ සතුටින් බරක් නැතුව ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට ඕනෑ. ඒ ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව මම කියන්න ඕනෑ. අපි දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් රටක් නැවත තමන්ගෙ ඉලක්ක ජය ගන්න පුළුවන් රටක් හදලා භාර දෙන්න ඕනෑ. අපිට අපි උපන් රට ගැන ලොකු වගකීමක් තියෙනවා. මේ දුවලා පුතාලා මතක තියා ගන්න ඕනෑ අපි මේ පය ගහලා ඉන්න රට ආරක්ෂා කර ගන්න වසර දහස් ගණනක් තිස්සේ ලක්ෂ කෝටි ගණන් ජනතාව, ජීවිත පූජා කරලා තියෙන බව. යටත් නැති රටක් හදන්න අපේ මුතුන් මිත්තෝ අපිරිමිත කැප කිරීම් කළ බව අපි මතක තියා ගන්න ඕනෑ. දහස් ගණන් වැව් බැදලා ඒවායේ දියවර අරන් මුතුන් මිත්තෝ අපි වෙනුවෙන් ඒ මහා නිර්මාණ ඉතුරු කළ බව මතක තියා ගන්න ඕනෑ. ඒ විතරක් නොවෙයි, අපේ භික්ෂූන් වහන්සේලා ලෝකයේ ශ්‍රේෂ්ඨ ධර්මය ථෙරවාදී බුදු දහම වණපොත් කරලා ආරක්ෂා කර ගෙන ගෙනල්ලා ලෝකයට දෙන්න, රැක ගත්ත බව අපි මතක තියා ගන්න ඕනෑ.

මගේ ඉදිරියේ ඉන්න දුවලා පුතාලා වගකීමක් තියෙනවා මේ දේවල්වලට යමක් එකතු කරන්න. අද අපි කවුරුත් හිතනවා රුවන්මැලිසෑය බැදපු යුගයේ අපි ජීවත් වුණා නම් අපිටත් ඒවාට දායක වෙන්න පුළුවන් කියලා. කැප්පෙටිපොළ නිලමේතුමා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කළ යුගයේ අපිත් හිටියා නම් අපිත් ඒ සටනට යනවා නේද කියලා අපි අද හිතනවා. අපි එහෙම යුගයක් මේ රටේ ගොඩනගන්න ඕනෑ. අනාගත පරපුර ආපස්සට හැරිලා හිතන කොට අද කාලේ ජීවත් වුණා නම් කොයිතරම් හොඳ ද කියලා හිතෙන රටක් හදන්න අපි කැප වෙන්න ඕනෑ. අද අපේ සියලු දේවල් යළි ගොඩනඟන යුගයක්, ඔබගේ ගේ පිටිපස්සේ වැවෙන කහ පැළයේ ඉඳන් ඔබ පාසල් යන කොට අඳින නිල ඇඳුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹිලා තියෙනවා. ඒ මහා යෝධ කාර්යයට දායක වෙන්න හිතට ගත්තොත් තව අවුරුදු සිය ගාණකට පස්සේ උපදින පරපුර කියයි මේ යුගයේ උපන්නා නම් හොදයි කියලා. ඒ නිසා අපේ මහා ජාතික කවියකු වූ එස්. මහින්ද හාමුදුරුවෝ කිව්ව කවියකින් මා මගේ කතාව අවසන් කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස