තක්කඩි සිංහාසනාරූඪ කරන්න ආගමික නායකයන් කටයුතු කරනවා! – සරත් විජේසූරිය

August 8, 2019 at 3:44 pm | by emanisa.lk

තක්කඩින් සිංහාසනාරූඪ කීරීමට ඇතැම් ආගමික නායකයන් කටයුතු කරන බවත් ඡන්දයෙන් තේරී පත්වීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නොහැකි බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරිය ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඊයේ (07) පැවැති කථානායක කරු ජයසූරිය විසින් ත්‍රෛනිකායන් උදෙසා පිරිනමනු ලැබූ ‘යතීන්ද්‍ර පූජා’ සම්මාන උත්සවය අමතමිනි.

එහිදී මහාචාර්ය සරත් විජේසූරිය වැඩි දුරටත් මෙසේ පැවසීය.

“දේශපාලන ප්‍රතිරූපය නඟා සිටුවාගැනීමට අවිචාරවත්ව ඉපයූ මුදල් දහමට යොදවන බවක් අද පේනවා. ආගමික නායකයන්ගේ ඇස්වලට වැලි ගසා ආශිර්වාද ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. දන්දීමට ප්‍රථම දන් දෙන්න සූදානම් විය යුතුයි. ඒ අතින් කරු ජයසූරිය මහතා සැබෑ ලෙසම ගරු බුහුමනට ලක්විය යුතු නායකයෙක්.

2015න් පසු සාධාරණ සමාජයක් ලෙස නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වේවි යැයි අප බලාපොරොත්තු වූ නමුත් ඒ සියල්ල බොඳ වුණා. පාලකයා පාලනය කිරීමට නීති නැති තත්ත්වයක අපි ඉන්නවා. මහජන වරම් ලබාගත් පාලකයන් මේ රට තමන්ට, තමන්ගේ පවුලට භුක්ති විඳිමට තිබෙන බව සිතා කටයුතු කිරීම ඛේදයක්.

පාලකයන් සතු දූෂණය පාලනය කරන්න පාලකයන් අසමත්ව තිබෙනවා. දීර්ඝ කාලයක සිට බලය උපරිම සාපරාධී ලෙස මේ රටේ භුක්ති විඳ තිබෙනවා. ලංකාව මෙම තත්ත්වයෙන් ගොඩගැනීම හැර වෙනත් වගකීමක් ආගමික නායකයන්ට නෑ.

පාලකයන්ට ඇති විශාලතම අභියෝගය නම් තරුණ පරපුරට ජීවත්වීමට කැමැත්ත ඇතිවන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි. දියුණු රටවල සීතලේ දුක් විඳගෙනත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් එහිම රැඳී සිට ඒ රටවලට ආදරය කරන්නේ ඒ රටවල සැමට නීතිය එක ලෙස ක්‍රියාත්මක වන නිසයි.

විධායක ජනාධිපති ක්‍රමයේ අන්තිම නරක ලක්ෂණ අද අපි දකිනවා. 2015න් පසු රට තුළ මන්‍රෂ්‍ය ඝාතන සිදු නොවූ බව සත්‍යයක් වන නමුත් දූෂණවලට වගකිවයුත්තන් ආරක්ෂා කිරීම පාලකයන් සිදු කරනවා. තක්කඩින් සිංහාසනාරූඪ කීරීමට ඇතැම් ආගමික නායකයන් කටයුතු කරනවා. ජාතික නායකයන්ගේ වගකීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි. ඡන්දයෙන් තේරී පත්වීමෙන් පමණක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පාලකයන්ට නොහැකියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස