ජනපති සිරිසේන සුලු ජාතිකයන් නින්දිත විදිහට මුලා කරලා නැවත ජනපති සිහින දකිනවා! – සරත් විජේසූරිය

February 9, 2019 at 8:04 am | by admin

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිවිල් සංවිධාන කැපවූවත් එයට අවශ්‍ය දේශපාලන නායකත්වයක් නොලැබුණ බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය කොළඹදී පැවසීය.

අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අසත්‍ය ප‍්‍රචාරවලට පිළිතුරු යන තේමාවෙන් සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී අද (8) සංවිධානය කළ මහජන රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කිය.‘2015 ජනාධිපතිවරණය පැවැත්වීමේදී රටට අවධාරණය කළ කරුණ තමයි අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කරනවා කියන එක. ඒ වගේම ඒ ජනාධිපතිවරණයේ තේමාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියන එක.

දේශපාලන නායකත්වය එයට අවංක වුවමනාවක් කැපවීමක් නැත්නම් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කරලා ඒක සම්මත කරගන්න බැහැ. අද අපිට පේනවා මේ නායකයන් දෙදෙනාටම ඒ අවංක වුවමනාව නැති බව. රනිල් වික‍්‍රමසිංහ මහතා දැන් මේක අතහැරලා තියෙනවා.

අපි සිවිල් සංවිධාන නියෝජිතයෝ විදියට මුල ඉඳලම ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් දන්වා සිටි දේ තමයි ඔබ දෙදෙනා එකට එක වේදිකාවක ඉඳගෙන අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබාදීමේ ව්‍යාපාරය ගොඩනගන්න කියලා. මේ දෙදෙනා මේ කටයුත්තට එකඟ වුණේ නැහැ.

අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කටයුත්ත වෙනුවෙන් පහුගිය කාලය තුළ මහජනතාව දැනුම්වත් කිරීමට විවිධ මට්ටමින් කැපවුණේ සිවිල් සංවිධාන පමණයි. ඒකට අවශ්‍ය දේශපාලන නායකත්වයක් ලැබුණේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය තුළ කවුරුන් මොන තරම් උත්සාහ කළත් පාර්ලිමේන්තුවේ මේ කටයුත්ත ඉටුවන්නේ නැහැ. ඒක ඉටුකරන්නට අවශ්‍ය වාතාවරණය මේ වන විට පාර්ලිමේන්තුවේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළේ සෝභිත හිමියන් මුලා කිරීම පමණක් නෙමෙයි ඉතාම නින්දිත විදියට මේ රටේ සුලු ජාතිකයන් පවා මුලා කළා. දැන් අන්තවාදී කොටස් සමඟ එකතු වෙලා ඔවුන්ගේ පිහිටෙන් නැවත වරක් විධායක ජනාධිපති වීමේ සිහිනයක් දකිමින් සිටිනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *