ගෝඨා-මහින්ද ශක්තිමත් කරන්න බැසිල් ඇමැතිකමක් ගන්න ඕන….! හැමදාම අපට දිනන්න නායකත්වය දුන්නේ බැසිල්….! – ප්‍රසන්න රණතුංග…..

July 1, 2021 at 4:19 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා විශාල ශක්තියක් වනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අද පෙරවරුවේ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම විවෘත කිරිමේ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ යනු හොඳ සංවිධායකවරයෙක් මෙන් ම තමන් වෙත පැවරුණු සියලු වගකීම් සාර්ථකව ඉටු කළ නායකයෙක් බවයි.

“බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් මම පෞද්ගලිකව කැමතියි. අද කවුරු මොනවා කිව්වත් 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණි අවස්ථාවේ දී ගෝඨාභය මහත්තයා යුද්දේ කරන්න බාර ගන්න කොට යුද්ධයෙන් රටේ ආර්ථිකය කඩා වැටෙන්න නොදී ආර්ථිකය ශක්තිමත් කළ නායකයා වන්නේ බැසිල් රාජපක්ෂයි.

ඒ වගේම එතුමාගේ සංවිධාන ශක්තිය ගැන කතා කළොත් දෙදහස් පහළොවේ මහින්ද මහත්තයා පැරදුන වෙලාවේ මහින්ද සුළඟේ හිටපු කෙනෙක් තමයි මම. නමුත් මහින්ද සුළඟත් එක්ක ආපු පාර්ලිමේන්තු මැතිවරණය අපි පරාදයි.

එදා සිද්ධ වුණේ කබලෙන් ළිපට වැටුණා වගේ දෙයක්. නමුත් ඊට පස්සේ මේ රටේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්න, පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න, ජනාධිපතිවරණය වැඩි බලයකින් ජයග්‍රහණය කරන්න නායකත්වය දුන්නේ පොහොට්ටුව නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මහතායි. එතුමාට හොඳට වැඩ කරන්න පුළුවන් නායකයෙක්. එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළොත් එය ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගෙන යන වැඩපිළිවෙළට ලොකු ශක්තියක් එක් කරනවා.

අපිට තව අවුරුදු හතරක් ඉදිරියට තියෙනවා. මේ වසංගතයක් එක්ක අපි දැන් අවුරුදු එකහමාරක් ගැටෙනවා. 2022 අවසාන වෙනකොට ලෝකයේ ම එන්නත්කරණය සාර්ථකව සිදු වුණාට පසුව රටේ ආර්ථිකය ගොඩ ගැනීමට පුළුවන් කියලා කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා මේ වෙනකොට කරලා තියෙන දේවල් ගැන අද කවුරුත් කතා කරනවා අඩුයි.

මේ වසංගතයක් එක්ක අපේ රට විතරක් නෙමෙයි ලෝකය ම ආර්ථික වශයෙන් කඩා වැටිලා තිබෙනවා. අපි මේ වෙනකොට හිස ඔසවා ගෙන රජය මේ ගෙන යන වැඩ පිළිවෙළත් එක්කයි.

අපි තෙල් මිල වැඩි කළේ අවුරුදු දෙකකින් බව අද සමහරුන්ට මතක නෑ. ඇතැම් රටවල මාස තුනකට වරක් තෙල් මිල ඉහළ නංවනවා. නමුත් අපේ රජය ජනතාව පිට එවැනි බරක් පටවන්න සූදානම් නැහැ.නමුත් ඉදිරියේදී ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වුණොත් ලංකාවෙ තෙල් මිල අඩු කරන එක ගැන සලකලා බලනවා. අද වෙනකොට විදේශ ශ්‍රමිකයින් දහස් ගණන් ලංකාවට එමින් සිටිනවා. ඒ අයව නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්. ඒ අයගෙන් රටට එන ආදායම් මේ වෙනකොට අහිමි වෙලා තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම නිසා එමගින් ලැබෙන ආදායමත් අහිමි වෙලා තිබෙනවා. බදුවලින් ලැබෙන ආදායමෙන් විශාල කොටසක් අහිමි වෙලා තිබෙනවා.මේ හැම දෙයක්ම අහිමි කරගෙන රටේ ජනතාවට රුපියල් පන්දහක සහනයක් ලබාදීමට කටයුතු කිරීම ගැන අද කතා කරන්නේ නැහැ. බැසිල් පාර්ලිමේන්තු ඇවිත් තෙල් මිල අඩු කරන්න ශක්‍රයා ද?”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස