ගෝඨා අත්අඩංගුවට ගන්න දහංගැට ගැහුවාට වැඩක් නෑ! ගෝඨා ජනපතිවීම වළක්වන්න සක්කරයටවත් බෑ!

September 22, 2019 at 1:29 pm | by emanisa.lk

ඉදිරි දින 15 තුළ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගෙන නාම යෝජනා භාර දීම වළක්වාලීිමට ආණ්ඩුව සැලසුම් කළ ද ඒ කුමන විදිහකට හෝ ගෝඨාභය ජනාධිපති වීම වැළැක්විය නොහැකි යැයි පිවිතුරු හෙළ උරමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඊයේ (21) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබිය දී මෙවැනි විර්මශනයක් ආරම්භ කර තිබීම නිසා අවසන් මොහොතේ ගෝඨාභය මැතිතුමා හිරේ දාලා ඡන්දය ඉල්ලීම් අවස්ථාව අහිමි කරන්න ගෝඨා භය කියන භයානක රෝගයෙන් පෙලෙන මේ ආණ්ඩුව කටයුතු කරන බවට ජනතාව තුළ කුකුසක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ නීතිමය තත්ත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89(ඈ) වගන්තිය අනුව යම් පුද්ගලයෙකු වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් නියම වී එයින් මාස හයක් සිර දඬුවම විඳ ඇත්නම් වසර හතකට මැතිවරණයකට තරග කරන්න බෑ. එහෙම නම් ගෝඨාභය මැතිතුමාට එරෙහිව හෙට නඩුවක් පවරලා හෙටම තීන්දුව දීලා වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම කළත් එතුමාට ඡන්දය ඉල්ලන්න බාධාවක් නෑ. ඇයි? නාමයෝජනා භාර දෙන දිනය වන විට සිර දඬුවමෙන් මාස හයක් ගත වී නැති නිසා. අද සිට නාමයෝජනා සඳහා තිබෙන්නේ දින 15ක පමණ කාලයක්. එතුමාව සිරගත කරලා එතුමාට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව අහිමි කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තිබෙනවා නම් කාලයා විසින් එම කුමන්ත්‍රණය දැනටමත් පරාජය කර හමාරයි.

තවත් සමහරු මෙහෙමත් අහනවා. මේ කුරුමානම අල්ලන්නේ නාමයෝජනා දිනයේ දී අත්අඩංගුවට අරගෙන නාමයෝජනා භාර දීම වළක්වන්න නේද කියලා. ආණ්ඩුව ඇත්තටම එහෙම සිතා ගෙන ඉන්නවා නම් ආණ්ඩුවට වැරදිලා. 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 13(1) වගන්තිය අනුව ජනාධිපතිවරණ නාමයෝජනා භාර දීම අපේක්ෂකයාට හෝ ඔහුගේ නම යෝජනා කරන තැනැත්තාට කරන්න පුළුවන්. 12(1) වගන්තියෙන් කියනවා කාටද නාමයෝජනා පත්‍රයට අත්සන් කල හැක්කේ කියලා. පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉල්ලනවා නම් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා. ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. ගෝඨාභය මැතිතුමාට හෝ පොදුජන පෙරමුණේ ලේකම්තුමාට නාමයෝජනා භාර දෙන්න පුළුවන්. සිරගත කළත් රක්ෂිත බන්ධනාගාර ගත කළත් ගෝඨාභය මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නතර කරන්න මොන සක්කරයටවත් බෑ කියන එක අපි ඉතාම වගකීමෙන් කියනවා.

ඔච්චරටම ආසාවක් තිබෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ හිරේ දාන්න. ඉන් අපිට වාසියක් මිස අවාසියක් නෑ. ලංකාවේ තිබෙන අනුකම්පා ඡන්ද අනුව නම් ඡන්ද කාලයේ හිරේ දාන එක අපට වාසියි. 1988 දී කළුතර දිස්ත්‍රිකයෙන් කෝඩුකාර අප්ක්ෂකයෙක් ඉදිරිපත්වුණා තිලත් කරුණාරත්න කියලා. මැතිවරණයේ මැද තිලක් කරුණාරත්න හිරේ දැම්මා. එතුමාගේ ආධාරකරුවන් පෝස්ටරයක් ගැහුවා තිලත් කරුණාරත්න සිපිරිගෙයින් මැති සබයට කියලා. ප්‍රතිඵලය මොකද්ද? රත්නසිරි වික්‍රමනායක, අනිල් මුණසිංහ, නෙවිල් ප්‍රනාන්දු වැනි දැවැන්ත චරිත පස්සට තල්ලු කරලා කෝඩුකාර තිලක් කරුණාරත්න මනාප ලැයිස්තුවේ පළමුවැනියා වුණා. ඒ වගේම 2010 දී මැතිවරණය මැද පාලිත තෙවරප්පෙරුම මැතිතුමා හිරේ දැම්මා. ප්‍රතිඵලය? එතුමා මනාප ලැයිස්තුවේ පළමුවැනියා වුණා. 2015 මැතිවරණයේ දී ප්‍රේමලාල් ජයසේකර හිරේ දැම්මා. රත්නපුරේ හැමදාම පළමුවැනියන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ ජෝන් සෙනෙවිරත්න පහළට ඇද දමලා ප්‍රේමලාල් ජයසේකර පළමුවැනියා වුණා. ඒ නිසා මේ වෙලාවේ ගෝඨාභය මැතිතුමා හිරේ දාන එක අපේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙන සහයෝගයක් හැටියටයි අපි දකින්නේ. ඒ උදව්වත් බාරගන්න අපි සූදානම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස