උලමා ජනාධිපති කොමිසමටත් රිංගා නීති කඩයි! ඥානසාර හිමිගේ සාක්ෂිය පටිගත කරයි!

September 10, 2020 at 10:42 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සාක්ෂි ලබාදීම සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයා දුරකථනයෙන් පටිගත කිරීමේ සිදුවීමක් ඊයේ (09) දිනයේ වාර්තා වී තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සාක්ෂි ලබාදෙන තොරතුරු මෙලෙස පටිගත කර ඇති බව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ පස්වරුවේ පෙනී සිටියේය.

උන්වහන්සේ මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ ලබා දී තිබූ සාක්ෂියට අදාළව හරස් ප්‍රශ්න විමසීමට මෙහිදී අවස්ථාව ලබා දී තිබු අතර සමස්, ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මුස්ලිම් සංවිධාන ඇතුළු පාර්ශව 10ක් ජනාධිපති කොමිසමෙන් කර තිබූ ඉල්ලීමකට අනුව මෙම කැඳවීම සිදුකර තිබුණි.

කෙසේවෙතත් ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම ආරම්භ වී පැයදෙකක පමණ කාලයක් ගත වන විට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරින් කොමිසම සභාව ඇතුළත රැඳී සිටි පුද්ගලයෙකු සැකකටයුතු ක්‍රියාවක යෙදී සිටිම හේතුවෙන් පිටතට ගනු ලැබීය.

අදාළ පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කොමිෂන් සභාව තුළ සිදු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සාක්ෂි විමසීම ජංගම දුරකථනයෙන් පටිගත කළ බවය.

එම පටිගත කිරිම සිදුකර ඇත්තේ සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙකු වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මර්ෂිඩ් නමැති පුද්ගලයෙකු බව කොමිසමේ පොලිස් ඒකකය සඳහන් කළේය.

දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමට බාහිර පුද්ගලයින්ට දුරකථන රැගනයාම පසුරා තහනම් වන අතර නීතිඥවරයෙකු මාර්ගයෙන් කොමිෂන් සභා පරිශ්‍රයට සිය ජංගම දුරකථනය ගෙන ගොස් ඇති බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

අදාළ සිදුවිම සම්බන්ධයෙන් පොලිස් ඒකකය විසින් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමසාරිවරුන් දැනුවත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව කොමිසමේ සභාපතිවරයා මෙම සිදුවිම සම්බන්ධයෙන් සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය නියෝජනය කළ නීතිඥවරුන්ට සිය බලවත් අප්‍රසාදය පළ කළ අතර පටිගත කිරිම සිදුකළ පුද්ගලයාගෙන් වහාම ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස