රතන හාමුදුරුවෝ කියන්නේ බොරු! සම්පත් බැංකු ගිණුම් වහන්න අපි කීවේ නෑ! – උලමා සභාව

July 7, 2020 at 12:32 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික බැංකුවක ඇති ගිණුම් ඉවත් කරගන්නා ලෙස තමන් මුස්ලිම් ජනතාවට දැනුම්දී නැතැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම චෝදනාව පූජ්‍ය අතුරලියේ රතන හිමි එල්ල කරන ලද්දේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදීය.

“අපි සිංහල බැංකුවලට යන්නේ නැහැ. අපි වෙනම බැංකුවලට යනව කියල මේ ගොල්ලො ප්‍රකාශ කරනවා. මේ විදිහට ප්‍රකාශ කරනවා නම් අපිටත් ප්‍රකාශයක් කරන්න වෙනවා. ජම්ඉයියතුල් උලමාව මේ සියලු දේටම උඩගෙඩි දෙමින් ගොළුවො වගේ ඉන්නවා. සහරාන්ගේ බෝම්බ පිපිරීමටත්, රටපුරා මද්‍රසා පාසල් ඇති කිරීමටත්, සිංහල, දෙමළ සහ මුස්ලිම් වශයෙන් සමාජය ආකාරවලින් බෙදීමටත් වැඩකළේ ජම්ඉයියතුල්ලා උලමාවයි.”

එම චෝදනාව අසත්‍ය සහ ජාතිභේද ඇති කරවන බව සංවිධානයේ මාධ්‍ය ලේකම් ෆසිල් ෆාරුක් මේ බව සඳහන් කළේය.

“රතන හාමුදුරුවො කරල තියෙන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බොරුවක්. අපි ජම්ඉයියතුල් උලමා සංවිධානය විදිහට කිසිම බැංකුවක ගිණුම් ඉවත් කරගන්න උපදෙස් ලබා දීලා නැහැ. මේක ජාතීන් අතර භේද ඇතිකරන ප්‍රකාශයක්. ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන් සහයෝගයෙන් වාසය කළ යුතුයි කියන එකයි අපේ ස්ථාවරය. ඔය කියන බැංකුවේ සිදුවුණු දෙය අදාළ බැංකුවත් ඊට සම්බන්ධ අයත් පෞද්ගලිකව විසඳා ගත යුතු ගැටලුවක්.’’

ඒ පිළිබඳ උලමා සභාව නිකුත් කළ නිවෙදනයක් මෙසේය.

සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව කීවේ නැත

පසුගිය සතියේ දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය කනස්සල්ල පළ කරයි. මෙවන් සිදුවීම් අදාළ පාර්ශවකරුවන් සමග සුහදව විසදා ගැනීම සුදුසුම ක්‍රියාමාර්ගය වේ.

මෙම සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බව ප්‍රචාරයන් පැතිරෙමින් තිබෙයි. මෙය සහමුලින්ම අසත්‍යය ප්‍රචාරයක් බව රටේ ජනතාවට අප සභාව වගකීමෙන් යුතුව දන්වා සිටියි.

මෙරට මුස්ලිම්වරුන්ගේ පැරණිතම සංවිධානයක නම භාවිත කරමින් ව්‍යාජ ප්‍රචාරයන් කරන අයගෙන් ප්‍රවේශම් වන මෙන් ද, අප සභාව පිළිබඳ ප්‍රවෘත්ති පළ වූ විට ඒවා www.acju.lk යන නිල වෙබ් අඩවිය තුළින් සනාථ කර ගන්නා මෙන් ද, අප සභාව රටේ ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටියි.

අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද්

සහකාර ලේකම්,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස