උතුරු නැඟෙනහිර දෙමළ රාජධානියක් බිහිවීම කිසිවකුට නතර කරන්න බෑ! – ටෙලෝ

July 10, 2019 at 12:06 pm | by emanisa.lk

රටේ පවතින ප්‍රජාතාන්ත්‍රීය නීති රීතිවලට ගරු කරමින් දේශපාලන විසඳුමක් ඔස්සේ ගමන් කොට උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ රාජධානියක් අනාගතයේදී බිහිවීම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි බව ටෙලෝ සංවිධානය පවසයි.

එම සංවිධානය විසින් පසුගිය 9 දා නිකුත් කොට ඇති නිවේදනයක මේ බව සඳහන් වෙයි.

ටෙලෝ සංවිධානය විසින් මෙම නිවේදනය නිකුත් කොට ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් මහනුවරදී මේ රටේ දෙමළ ජනතාවට කිසිම අයිතියක් නොමැති බවට හා දෙමළ ජාතිය පහත් කොට කතා කිරීමට එරෙහිව බව ද එම සංවිධානය කියා සිටියි.

මේ රටේ සිංහල ජනතාව සමග සහයෝගයෙන් වෙසෙන දෙමළ ජනතාවට සුළු ජාතිය වශයෙන් විශාල අයිතියක් ඇති බව පෙන්වා දෙන ටෙලෝ සංවිධානය 1956 හා 58 වර්ෂවල සිට දෙමළ ජාතීන් විවිධ අරගල ඇති කර ගනු ලැබුවේ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට බවද එහි සඳහන් කොට තිබේ.

එම අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය සාර්ථක නොවූ තැන ආරම්භ වූ යුද්ධය වසර තිහක් තිස්සේ පැවති බව පෙන්වා දෙන ටෙලෝ සංවිධානය යළිත් දෙමළ ජනතාව මේ රට තුළ ආයුධ සන්නද්ධ යුද්ධයක් කරා අවතීර්ණ නොවූවත් අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන අත්නොහරින බව පවසයි.

ඥාණසාර හිමියන්ට සිංහල බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය දෙමළ නායකයින්ට ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස