තමන් විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වැරදි ලෙස හුවා දක්වමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලිකරණයට සූදානම් වන බවට වැරදි මතයක් සමාජගත කරමින් ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය විනාශ කිරීමට ජාතියේ සතුරන් උත්සාහ කරන බව පෙනීයන්නේ යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අද දින (03) බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි.
“මා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වැරදි ලෙස හුවා දක්වමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලිකරණයට සූදානම් වන බවට වැරදි මතයක් සමාජගත කරමින් ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය විනාශ කිරීමට ජාතියේ සතුරන් උත්සාහ කරන බව පෙනී යනවා.
ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය
1969 ආරම්භ කළ සපුගස්කන්ද පිරිපහදුව ලංකාවේ ඇති එක ම පිරිපහදුවයි. 1983 සිට මේ දක්වා විවිධ ආණ්ඩු විසින් නව පිරිපහදුවක් ඉදි කිරීමට වෙර දැරුවත් ඒ කිසිම උත්සාහයක් සාර්ථක වුණේ නෑ. වත්මන් පිරිපහදුවේ ධාරිතාව දිනකට බැරල් 38,000 සිට 45,000 දක්වා වැඩි කිරීමටත් බැරල් ලක්ෂයක ධාරිතාවක් ඇති නව පිරිපහදුවක් සපුගස්කන්දේම ඉදිකිරීමටත් අපි මේ දිනවල ශක්‍යතා අධ්‍යනයක් කරනවා.
මේ ව්‍යාපෘතියට ඩොලර් බිලියන 3ක් හෙවත් රුපියල් බිලියන 600ක් පමණ වැය වෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව මේක ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතියයි. හම්බන්තොට වරායට වියදම් වුණේ ඩොලර් මිලියන 1,350යි. නොරොච්චොලේ විදුලි බලාගාරයට ඩොලර් මිලියන 900යි. හම්බන්තොට වරාය, නොරොච්චොලේ විදුලි බලාගාරය, මත්තල ගුවන් තොටුපොල සහ කටුනායක අධිවේගි මාර්ගය යන දැවැන්තම ව්‍යාපෘති හතරටම වැය වුණේ ඩොලර් මිලියන 2,916යි.
නමුත් මේ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 3,000යි. ඒ වගේම තරගකාරි ලංසු කැඳවීමකින් කරන ලංකාවේ පළමු දැවැන්ත ව්‍යාපෘතිය ලෙසත් මේක හඳුන්වා දෙන්න පුළුවන්. මේ දක්වා ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘති සියල්ලට ම සිදු කළේ තරගකාරි ලංසු කැඳවීමක් නැතිවයි.
මේ දැවැන්ත මුදල ණයක් ලෙස ලබා ගන්න ණය බරින් මිරිකිලා ඉන්න ආණ්ඩුවටවත් සංස්ථාවටවත් හැකියාවක් නෑ. ඒ නිසා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ BOT නැතිනම් ඉදිකර මෙහෙයුම් කර පවරන ව්‍යාපෘතියක් හැටියටයි. තවත් සරලව කිව්වොත් පිරිපහදුව ඉදි කරන ආයෝජකයා තමන්ගේ පිරිවැය ලාභයක් සහිතව අය කර ගැනීමෙන් පසුව එහි අයිතිය තෙල් සංස්ථාවට පැවරිය යුතුයි.
දැනට ලංකාවේ තෙල් පිරිපහදුවක් පවත්වා ගෙන යෑමේ ඒකාධිකාරිය හිමි වන්නේ තෙල් සංස්ථාවටයි. ඒ නිසා වෙනත් ආයෝජකයෙකුට තෙල් පිරිපහදු කිරීමේ අයිතිය ලබා දීමට නම් 1961 අංක 28 දරන ඛනිජතෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න වෙනවා. පනත සංශෝධනය කරන්නේ නැතුව කිසි ම ආයෝජකයෙක් පිරිපහදුවක් හදන්න එන්නේ නෑ. ඒක හරියට ලංකාවේ හෙරෝයින් නිෂ්පාදනයට ආයෝජකයින්ට ඇරයුම් කරනවා වගේ වැඩක්.
වසරකට ඩොලර් මිලියන 300ක ඉතිරියක්
මේ ව්‍යාපෘතියෙන් රටට ඩොලර් බිලියන 3ක ආයෝජනයක් ලැබෙනවා වගේ ම රට තුළ තෙල් පිරිපහදු කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් ඉතිරි කරන්නත් පුළුවන්. ඒ වගේම ජාතික ඛනිජතෙල් අවශ්‍යතාව රට තුළ ම පිරිපහදු කිරීමෙන් බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවෙනවා.
2003 දී ඛනිජතෙල් සංස්ථාවේ ඒකාධිකාරිය නැති කළ 2018 දී තෙල් සංස්ථාව පෞද්ගලිකරණය කරන්න හදපු එජාප ආණ්ඩුවේ සිටිය පා.ච. රණවක වැනි ඇමැතිවරු සහ වෘත්තිය සමිති නායකයින් මෙන්න තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරනවෝ කියා බෙරිහන් දෙන්නේ. මේක දෛවයේ සරදමක් නොවේ ද? එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පා.ච. රණවක අමාත්‍යතුමන්ලා 2018 දී තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න තීරණය කරපු අවස්ථාවේ ඒක බේරගන්න හදපු ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානයේ ආරම්භකයන් දෙදෙනෙක් විදියට හිටිය මම අද බලශක්ති අමාත්‍යවරයා. සුමිත් විජේසිංහ මැතිතුමා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා. ඒ නිසා අපි ඉන්න තුරු තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමත් ඉඩ තියන්නේ නෑ කියන එක ඉතාම වගකීමෙන් රටේ ජනතාවට ප්‍රතිඥාවක් ලබා දෙනවා.
ප්‍රශ්නය
මෙම ටෙන්ඩරයෙන් සමාගමක් තෝරා ගන්නා ආකාරය කෙසේද ?
පිළිතුර
මෙහිදී සිදුවන්නේ තරගකාරී ලංසු කැඳවීමක්. අපි දන්නවා නැගෙනහිර ජැටිය ගත්තොත් වසර 35 කින් නැවත ලංකා රජයට භාර දෙනවා කියලා අදාළ සමාගම සමග එකඟතාවක් හදාගත්තා. මොකද අදානි සමාගම පමණයි එම කාර්යයට සම්බන්ධ වුණේ. නමුත් මෙහිදී සමස්ත ලෝකයේ ම තරගකාරී ලංසු කැඳවීමක් කරනවා.
දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, කැනඩාව, දකුණු අප්‍රිකාව ඇතුළු විවිධ රටවලින් කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ නිසා ඉතා ම තරගකාරී තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ටෙන්ඩරයක දී සිදුවෙන්නේ අවශ්‍ය ප්‍රමිතිය සහිත ඉල්ලුම්කරුවන් අතරින් අවම මිල සඳහන් කරන පුද්ගලයාට තමයි ටෙන්ඩරය ලබා දෙන්නේ. මෙහි දී සිදු වන්නේ අපට අවශ්‍ය ප්‍රමිතියෙන් හදන පිරිපහදුව අවම කාලයකින් අපට බාරදෙන සමාගමට තමයි ටෙන්ඩරය ලැබෙන්නේ.
ප්‍රශ්නය
මෙම ව්‍යාපෘතිය සඳහා විවිධ අභියෝග මේ වන විටත් ඉදිරිපත් වෙනවා නේද?
පිළිතුර
වසර පනස් දෙකක් පුරා කිසි ම ආණ්ඩුවකට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට බැරිවුණේ නිකම්ම නොවෙයි. නොයෙකුත් අභියෝග තියෙනවා. එම අභියෝගවලට මුහුණ දීමට සූදානමින් තමයි අපි වැඩේට බැස්සේ.