අරගලය පිටුපස විදෙස් බලවේග ඉන්නවා..! ඔවුන් මේ රට ඉරාකයක් ලිබියක් කරයි…! – කල්‍යානන්ද තිරාණගම…

July 8, 2022 at 12:02 pm | by emanisa.lk

ජ්‍යේෂ්ඨ නීතීඥ කල්‍යානන්ද තිරාණගම සමග පැවැත් වූ සාකච්ඡාවකි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ වන විට අවස්ථා 20කදි සංශෝධනය කර තිබෙනවා. සමස්තයක් ලෙස ගත් විට මේ සංශෝධන ගැන ඔබේ අදහස කුමක්ද?

මේ එක සංශෝධනයක්වත් රටේ ජනතාවගේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත සඳහා ගෙනා යෝජනා නෙවෙයි. මේවා ගෙනාවේ එක්කෝ දේශපාලන ප්‍රතිවාදීන් පිටු දකින්න. එහෙම නැත්නම් තනි පුද්ගලයකු අතට බලය ගන්න. 78 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරඹුණේ 1978 පෙබරවාරි 4දා සිටයි. පළමු සංශෝධනය 78 නොවැම්බර් 20 වැනිදා ගෙනාවා. එහි අරමුණ වුණේ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පසු එයට එරෙහිව අභියාචනාධිකරණයට යෑමේ අවස්ථාව නැති කිරීම. ඇයට උසාවියෙන් සහනයක් ගන්න තිබුණු ඉඩ වැළැක්වීම පළමු සංශෝධනයේ අරමුණ වුණා.

දෙවැනි සංශෝධනය අවුරුද්දකින් 79 වසරේ පෙබරවාරියේ ‍ගෙනාවා. එහි අරමුණ වුණේ ශ්‍රිලනිපයෙන් පාර්ලිමේන්තුවට පත්ව එජාපයට එක්වූ බෙන්තර-ඇල්පිටිය මන්ත්‍රී ආර්.ජී. සමරනායකගේ මන්ත්‍රී ධූරය ආරක්ෂා කර දීමයි. ව්‍යවස්ථාව අනුව ඔහුගේ අසුන නැති විය යුතුයි. දෙවැනි සංශෝධනයෙන් ඔහුගේ ආසනය ආරක්ෂා වෙන ආකාරයට පසුබිම සකස් කළා. මේ විදියට හැම සංශෝධනයක්ම කිසියම් පුද්ගලයකු ඉලක්ක කරගෙන ගෙනා ඒවා.

මේ චෝදනාව, ඒ කියන්නෙ යම් යම් අය ඉලක්ක කරගෙන නීති සම්පාදනය කළ බවට අදහසක් 19 වැනි ව්‍යවස්ථාව සම්බන්ධයෙනුත් තිබෙනවා නේද?

ජනාධිපතිවරණයට තෙවරක් තරග කිරීම වැලැක්වීම, අවු: 35ට අඩු අය තරග කිරීම නොහැකි වීම වගේ පුද්ගලයන් ඉලක්ක කළ දේවල් 19 වැනි සංශෝධනයේ තිබුණා. එහෙත් එහි තිබූ ද්විත්ව පුරවැසියන් සම්බන්ධ තීරණය මා එකඟයි. වෙනත් රටකට පක්ෂපාත කෙනකුට මේ රටේ තනතුරක් දැරීමට ඇති ඉඩ සම්පූර්ණයෙන්ම වැළැක්විය යුතුයි. ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීකම පමණක් නෙමෙයි කිසිම වගකිව යුතු තනතුරක් දරන්න ඉඩ දිය යුතු නැහැ. තාවකාලික උපදේශක තනතුරකට හැර ස්ථිර තනතුරුවලට පත් නොකළ යුතුයි.

අර්ජුන් මහේන්ද්‍රන් සිද්ධියේ දි මේ තත්ත්වය හොඳින් අප දැක්කා. වෙනත් රටක පුරවැසියකුට මහ බැංකුවේ වගකීම දුන්නා. ඔහු අපේ මහ බැංකුව හොරකම් කරලා දැන් වෙනත් රටක ජීවත් වෙනවා.

සජබ ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනය ජනමත විචාරණයකට හේතු වන බව අධිකරණය තීරණය කළා. ආණ්ඩුව ජනමත විචාරණයකට හේතු වන කරුණු මඟහැර යෑමට අදහස් කරන බව කියවෙනවා. ඒ අනුව මෙම කෙටුම්පත සම්මත වීමේ ඉඩක් තිබෙනවා නේද?

අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ ජනමත විචාරණයකට යා හැකි කරුණු 5ක් තිබෙනවා. එහි 44(1) වගන්තියේ ඇමැතිවරු සංඛ්‍යාව තීරණය කිරීම, පත් කිරීම අගමැති උපදෙස් අනුව කළ යුතු බව දක්වා තිබෙනවා. ඒ වගේම 44(3) වගන්තියේ ඇමැතිවරු වෙනස් කිරීම අගමැති උපදෙස් අනුව කළ යුතු බව දක්වා තිබෙනවා. නියෝජ්‍ය ඇමැතිවරු පත් කිරීමත් එලෙසමයි. අගමැතිවරයා ඉවත් කළ නොහැකි බව 44(2) වගන්තියට ඇතුළු කර තිබෙනවා. මේවා සියල්ලම ජනමත විචාරණයකින් තොරව කරන්න බැරි දේවල්. මේවා ක්‍රියාත්මක කළොත් ජනපතිවරයාගේ විධායක බලය අඩු කිරීමක් වෙනවා.

අගමැති ඉවත් කිරීමේ බලය 19 වැනි සංශෝධනයේ ඇතුළත්ව තිබූ දෙයක් නිසා එය ජනමත විචාරණයකට හේතු වන කරුණක් වන්නේ කෙසේද?

19 වැනි සංශෝධනයට මේ වගන්තිය ඇතුළත් කළේ සූක්ෂ්ම ආකාරයකටයි. 19ට පෙර තිබුණු තත්ත්වය යටතේ ජනපතිට අගමැතිවරයා ඉවත් කරන්න පුළුවන්. එහෙම අගමැති ඉවත් කළොත් නැත්නම් ඉල්ලා අස්වුණොත් ඇමැති මණ්ඩලයේ තනතුරු අහෝසි වන බවට 19ට පෙර ව්‍යවස්ථාවේ තිබුණා. 19 වැනි සංශෝධනයෙදි ඒ පරිච්ඡේදයම ඉවත් කළා. මේ කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වුවත් එතැනදි උසාවියේ අවධානයට යොමු වුණේ තිබෙන පරිච්ඡේදය ගැන පමණයි. ඉවත් කළ පරිච්ඡේදය ගැන අවධානය යොමු වුණේ නැහැ.

ඊළඟට 19 වැනි සංශෝධනයේදී 46 වැනි වගන්තිය සම්මත කිරීමේදී කැබිනට් ඇමැතිවරු 30ක් හා කැබිනට් නොවන ඇමැතිවරු 40ක් කියලා වෙනස් කළා. එයට 46(3) නමින් සංශෝධනයක් එක් කර එහි අගමැති ඉවත් කරන ක්‍රමය එයට ඇතුළු කළා. “කැබිනට් මණ්ඩලය පවතින තාක් අගමැතිවරයා ධුරය දරන බවත්, ඉල්ලා අස්වීමෙන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නෙරපීමෙන් ධුරය හිස්වන බව” කියන කොටස පසුව කාරක සභා අවස්ථාවේ ඇතුළු කළා. මේ කෑල්ල කෙටුම්පතේ තිබුණේ නැහැ. එහෙම කරලා අගමැති ඉවත් කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය කළා.

මේ කරුණ මත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කිරීමට අදහස් කරනවද?

මම කරන්න අවශ්‍ය නැහැ. කවුරුන් විසින් හෝ එය අභියෝගයට ලක් කරන්න පුළුවන්. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට ගැසට්කර තිබෙනවා. එහෙත් තවම න්‍යාය පුස්තකයට ඇතුළු කර නැහැ.

19 වැනි සංශෝධනයේ විධිවිධාන බලයේ සිටින ජනපතිවරයාගේ ධුර කාලයට අදාළ වුවත් 21 වැනි සංශෝධනයේ විධි විධාන බලයේ සිටින ජනපතිවරයාගේ ධුර කාලයට අදාළ වන්නේ නැහැ නේද?

පෙර කී දේවල් වත්මන් ජනාධිපතිවරයාටත් අදාළයි. ඒවා සම්මත කළ දා සිට ක්‍රියාත්මක වෙනවා. අනෙක් දේවල් ඔහුගේ ධුර කාලයට අදාළ වෙන්නෙ නැහැ.

ආණ්ඩුවේ කොටස්කරුවන්ව සිටි, ජාතික සංවිධාන සමඟ සමීපව ගනුදෙනු කළ ඇතැම් මන්ත්‍රීන් 21 වැනි සංශෝධනයට සහාය දක්වනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කෙසේද?

ඔවුන් නොමඟ ගොස් තිබෙනවා. ඉදිරියේ දී. ඔවුන් සහාය දෙයි කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. 21ට සහාය දී ජනතාව ඉදිරියට යන්න ඔවුන්ට බැහැ. ඒ අතර එක දෙයක් කිව යුතුයි. ව්‍යවස්ථා සභාව පිහිටුවීම නම් කළ යුතු දෙයක්.

19 වැනි සංශෝධනයට අකැමති ඔබ, එමඟින් හඳුන්වාදුන් ස්වාධීන කොමිසම් පිළිගන්නෙ ඇයි?

ස්වාධීන කොමිසම් 17 වැනි සංශෝධනයේ නිර්මාණයක්. ඒවා 19 නිසා තවදුරටත් සවිමත් වුණා. ජනපති තනතුරට පත් වෙන අය හිතුවක්කාර ආකාරයට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා බහුතර මතය විමසීම ඇතුළත් කිරීම හොඳ දෙයක්. එයින් නුසුදුසු පුද්ගලයන් පත් කිරීම වළක්වන්න හැකියාව ලැබෙනවා.

21 වැනි සංශෝධනය ගෙන ඒමට හේතු වූයේ ජනපතිවරයාට බලයෙන් ඉවත් වන ලෙස අරගලකරුවන් කළ බලපෑමයි. ජනපතිවරයාගේ බලය අඩු කිරීමට ගැන ඔබේ අදහස කුමක්ද?

ජනපතිවරයා ගත් සමහර තීරණ ගැන අපටත් ගැටලු තිබෙනවා. එහෙත් ඔහු ඉවත්කර ජනපතිවරයකු පාර්ලිමේන්තුවෙන් තෝරන්න ගියොත් කවරෙක් පත්වේදැයි අපට කියන්න බැහැ. එවිට ජනාධිපතිවරයා තේරීම කෙරෙන්නෙ රහස් ඡන්දයෙන්. මේ තියෙන ක්‍රමයේ හැටියට සල්ලිකාරයෙක් ඒ තනතුරට පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් රට බොහොම අවදානම් තත්ත්වයකට යනවා.

මේ යෝජනාව සම්මත කිරීමෙන් පසු ජනපතිවරයාගේ වැය ශීර්ෂ කපා හැරීමෙන්, විශ්වාසභංගයක් මඟින් ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ගෝල්ෆේස් සටනට පහසුකම් සලසන බව අගමැතිවරයා පවසා තිබෙනවා. ඒ සඳහා තැනැත්තකු පත්කර තිබෙනවා. එහෙම කර තිබෙන්නෙ කිසියම් සැලැස්මක් අනුව වෙන්න පුළුවන්.

ගාලු මුවදොර අරගලය බිමේ ජනතා සහභාගීත්වය අඩු වීම බලපෑ හේතුව කුමක්ද?

පාරේ කෙරෙන අරගලය ගෝල්ෆේස් අරගලයේම කොටසක්. මේ දෙක වෙන්කර දකින්න බැහැ.

අගමැතිවරයා පත්ව මේ වන විට ගතව තිබෙන්නෙ කෙටි කාලයක් පමණයි. ඔහුට සාධාරණ කාලයක් නොදී ඉවත් වන ලෙස බලපෑම් කිරීම සාධාරණද?

පාරේ ඉන්න මිනිස්සුන්ගෙ දුක් වේදනා නැති කරන්න ඔහු මේ දක්වා කර තිබෙන්නෙ මොකක්ද? අගමැති පත් වුණේ මැයි 11දා. මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. මිනිසුන්ගෙ කිසිම ප්‍රශ්නයක් ඔහු විසඳා නැහැ.

69 ලක්ෂයේ ජන වරමට දායක වූවෙක් හැටියට වත්මන් අගමැතිවරයාගෙ පත්වීම දකින්නෙ කොහොමද?

ජනපතිවරයාට අගමැති හැටියට පත් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා ගන්නේ යැයි විශ්වාස කරන අයකු පමණයි. එක් ආසනයක් තිබෙන මන්ත්‍රීවරයකුට බහුතරයේ විශ්වාසය ලැබේ යැයි පිළිගැනීමට අපහසුයි. ජනතාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ යහපාලන ආණ්ඩුව ගෙන ගිය වැඩ පිළිවෙළ ප්‍රතික්ෂේප කළ නිසයි.

කාරක සභා බලවත් කිරීම ගැන අගමැතිවරයාගෙ අවධානය යොමුකර තිබෙනවා. එයින් විසඳුමක් ලැබෙනවද?

කාරක සභා තවත් කථා සාප්පුවක් විතරයි. මේ දිනවල කෝප් කමිටුව මඟින් බොහෝ හෙළිදරව් කිරීම් කෙරෙනවා. එහෙත් මේවාට පිළියමක් ලැබුණා කියලා අපට වාර්තා වෙන්නෙ නැහැ. ඒ තත්ත්වය වළක්වන්න ඔවුන්ට බලයක් නැහැ.

මේ අර්බුදය ජය ගත හැකි ක්‍රමය ලෙස ඔබ විශ්වාස කරන්නෙ කුමක්ද?

සෑම පක්ෂයක්ම වැඩ කරන්නෙ පක්ෂ දේශපාලනයට අනුවයි. කවුරුවත් රට ගැන හිතන්නෙ නැහැ. කාටත් එකඟ වෙන්න පුළුවන් පොදු අවම වැඩපිළිවෙළක් ගැන හැමෝම එකතුව කතාබහ කළ යුතුයි. බොරුවට කෑ කෝ ගහලා වැඩක් නැහැ. කවුරුවත් වගකීමකින් වැඩ කරන බවක් පෙනෙන්නේ නැහැ. බලලෝභී දේශපාලනය ඇරුනහම වෙන දෙයක් පෙනෙන්නෙ නැහැ. මේ අර්බුදයට හැමෝම මොකක් හෝ ක්‍රමයකට වගකියන්න ඕනෑ. කාටවත් ගැලවෙන්න බැහැ. ජනතාව දුක් විඳින තත්ත්වය ඔවුන්ට නවත්වන්න බැරි නම් අඩු ගණනේ සහනයක් දෙන්නවත් වගකීමක් තිබෙනවා.

පක්ෂ කිහිපයක එකතුවකින් නිර්මාණය වූ ආණ්ඩුව තවදුරටත් පුළුල් කළ යුතු බවද එහි අදහස?

ඔව්. ජනපතිවරයා සියලු පක්ෂවලට කතා කළ යුතුයි. වර්තමාන ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. බහුතරය මේ තත්ත්වයට විරුද්ධයි. පොදුජන පෙරමුණේ සමහර මන්ත්‍රීවරු මේ ගැන එකඟ නැහැ. 10කට වැඩි මන්ත්‍රීන් පිරිසක් ස්වාධීන වුණේ ඒ නිසයි.

ගාලු මුවදොර අරගලය පිටුපස දේශීය ධනපතියන් සිටින බව ඔබ පැවසුවා. ඔවුන්ට විදේශ බලවේගවල සහාය ලැබෙනවද?

මේ සමස්ත අරගලයේම අධිරාජ්‍යවාදි බලවේග සිටිනවා. මේක රුසියාවට හා චීනයට විරුද්ධව කෙරෙන අරගලයේ කොටසක්. ශ්‍රී ලංකාව චීනයේ බලපෑමට ලක්වේ යැයි බටහිර ලෝකය සැකයෙන් සිටිනවා. එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීමට ඉන්දියාව, අමෙරිකාව, යුරෝපය ඇතුළු රාජ්‍යයන් උත්සාහ කරනවා. මේ අරගලය ස්වාධීනව ඇති වූ දෙයක් නෙමෙයි. මේ අරගල පිටුපස අධිරාජ්‍යවාදී බලවේග සිටින බවට මට නම් සැකයක් නැහැ.

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ඉන්ධන හා ගෑස් හිඟයට ඔවුන්ට අවශ්‍ය නම් විසඳුමක් දිය හැකිද?

ඔවුන්ට විසඳන්න බැහැ. ඔවුන්ට වුවමනා අපේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි, මැදිහත් වෙන්නයි බලන්නෙ. ග්‍රහණයට ගන්න උත්සාහ කරනවා. ඉරාකය, ලිබියාව වගේ ඔවුන් මැදිහත් වූ තැන්වල ජනතා ප්‍රශ්න කිසිවක් විසඳා නැහැ. මේ බලවේග මැදිහත් වූ කිසිම තැනක විනාශයක් මිසක් ඊට වඩා වැඩි දෙයක් සිදුව නැහැ. ඒ අතර ඔවුන් අපේ සම්පත් කොල්ලකනවා.

ඔවුන් මෙරටට මැදිහත් වෙන්නෙ කුමන අරමුණක් මතද?

එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කරවා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාවක්. වත්මන් ජනාධිපතිවරයා එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක නොකරන බවට සහතිකයක් දුන්නා. එහෙත් මේ රාජ්‍යයන් එම අපේක්ෂාව අත්හැර නැති බව දැන් පෙනෙනවා. ඉඩම් දශ ලක්ෂයක් ජනතාවට දෙන බව අගමැතිවරයා පවසනවා. එහි අදහස ආණ්ඩුවේ ඉඩම් විකිණීමේ අයිතිය ජනතාවට දෙන බවයි. එම්සීසීයේ අරමුණ මේක තමයි.

චන්දන ජයවීර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස