ඇමරිකානු බලපෑම් හමුවේ එජාප ආණ්ඩුව වගේ වර්තමාන ආණ්ඩුවට ස්වාධීනව වැඩ කරන්න බෑ! – ජවිපෙ

October 28, 2020 at 10:45 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයට බාරදුන් ලිපියේ සිංහල පරිවර්තනය පහත දැක්වෙයි.

තානාපති,
ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය
කොළඹ.
තානාපතිතුමියනි,

ශ්‍රී ලංකාවේ නිදහසට හා ස්වෛරීත්වයට බලපෑම් කිරීමට එක්සත් ජනපද ආණ්ඩුව විසින් ගන්නා උත්සාහයන්ට අපගේ දැඩි විරෝධය පළ කිරීමටත් ඒවා හෙළාදැකීමටත් අපි අපේක්ෂා කරමු.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්ප්සන් සහ නැගෙනහිර ආසියානු හා පැසිෆික් කටයුතු සහකාර ලේකම් ඩේවිඩ් ස්ටිල්වෙල් විසින් ඔක්තෝබර් 22වැනි දින මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ පරිදි එ.ජ. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය, ‘ශක්තිමත්, නිදහස් හා ප්‍රජාතාන්ත්‍රික ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවීමක්’ යැයි අපි විශ්වාස නොකරමු.

ඊට පරස්පර ලෙස ඇ.එ.ජ. විසින් ශ්‍රී ලංකාව තමන්ගේ බලපෑමේ සීමාව තුළට ගැනීමට දැඩි ලෙස උත්සාහ කර ඇති අතර එමගින් ශ්‍රී ලංකාව අනවශ්‍ය හා වියදම් සහගත ගෝලීය හා කලාපීය බල අරගලයක් තුළට ඇද දමා ඇත. ඇ.එ.ජ. තමන්ගේ වුවමනාකම් ආරක්ෂා කිරීමේදී සියලු ප්‍රජාතන්ත්‍රවාදී හා ජාත්‍යන්තර මූලධර්ම උල්ලංඝනය කිරීමට සූදානම් බව අපි හොඳින්ම දනිමු. එ.ජ. විසින් මැතිවරණවලට මැදිහත්වීම, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් නායකයින් බලයෙන් පහකිරීම, හමුදා ආඥාදායකයින්ට හා ත්‍රස්ත සංවිධානයන්ට හමුදා හා ආර්ථික ආධාර සම්පාදනය කිරීම මගින් නිදහස් රටවලට අයුතු බලපෑම් කිරීමේ නිදසුන් ගණනාවකින් ලෝක ඉතිහාසය ජරාජීර්ණ වී තිබේ.

දැන් ලෝකය තුළ ඇ.එ.ජ. බලපෑම හා බලය ලෝකය තුළ දුර්වර්ණ වෙමින් තිබියෙ දී හැකි කවරාකාරයකින් හෝ දකුණු ආසියාව තුළ තම වුවමනාවන් ප්‍රතිෂ්ඨාපනය කරගැනීමට එය අසාර්ථක ලෙස උත්සාහ දරමින් සිටී. නො එසේ නම් එ.ජ. රාජ්‍ය ලේකම්වරයා එ.ජ. මැතිවරණයේ තීරණාත්මක මැතිවරණයකට සතියකට පෙර හදිසියේ මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීමට අදාළ කිසිදු හේතුවක් අපට නොපෙනේ. එ.ජ. ආණ්ඩුව තීරණාත්මක හමුදාමය හා වෙළඳ ගිවිසුම් ගණනාවක් නිසි විනිවිදභාවයකින් සහ විධිමත් ක්‍රියාවලියකින් තොරව අත්සන් තබන ලෙසට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් එල්ලකරමින් සිටින බව අපි හොඳින් දනිමු. අවාසනාවකට ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව මෙවැනි කරුණුවල දී ස්වාධීන හා නොබැඳි ස්ථාවරයක් ආරක්ෂා කරගැනීමට අසමත් බව ඔප්පු කරනු ලැබ තිබේ.

එ.ජ. ආණ්ඩුව විසින් ‘ආර්ථික ස්වාධීනතාව ආරක්ෂා කරගැනීම සඳහා වන අවශ්‍ය එහෙත් දුෂ්කර තීරණ ගන්නා’ ලෙසට ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමින් නිකුත් කරන ලද නිවේදනය හුදු කුහකකමක් (එ.ජ. විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ස්වාධීනත්වය අනතුරේ හෙළීමට සියලු උත්සාහයන් ගන්නා අතරතුරම!) පමණක් නොව නිදහස් හා ස්වෛරී ජාතික රාජ්‍යයකට කරනු ලබන තර්ජනයක් හා දැඩි නිග්‍රහයක්ද වේ.

එපමණක් නොව එම නිවේදනයේම ප්‍රධාන ලේකම්වරයා සඳහන් කොට ඇත්තේ, “අප විසින් ඉදිරිපත් කොට ඇති තෝරාගැනීම් පිළිබඳව විමසා බැලීම සඳහා ශ්‍රී ලංකාව ධෛර්යමත් කරන” බවය. එම්සීසී ගිවිසුම අත්සන් තැබීම, සෝෆා ගිවිසුම ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාව සිව්පාර්ශ්වික සන්ධානයේ කොටස්කරුවෙකු කර ගැනීම සහ තවත් දේට අදාළ මේ අප්‍රකාශිත රහසිගත තෝරාගැනීම් මොනවාදැයි අපි දැනගැනීමට කැමැත්තෙන් සිටිමු.
ජාත්‍යන්තර සහයෝගීතාවයේ හා රාජ්‍යතාන්ත්‍රිකභාවයේ සෑම වැදගත් මූලධර්මයක්ම උල්ලංඝනය කරමින් සිටින පාලනයක් මගින් තමන්ගේ සෞභාග්‍යය ළඟාකරගැනීමට ශ්‍රී ලංකාවේ ජනතාවට කිසිදු බලාපොරොත්තුවක් නැති බව අපි සහතික කරමු. අපේ රටේ කලාපීය හා ජාත්‍යන්තර ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එ.ජ. ආණ්ඩුවේ අභිලාෂයන්ට එරෙහිවීමට අපේ හැකියාවෙන් ගත හැකි සියලු පියවර ගන්නා බවද අපි අවධාරණය කරමු.

එක්සත් ජනපදයද ඇතුළු ඕනෑම ගෝලීය බලයක බලවත් අභිලාෂයන්ට එරෙහිව අප සමග එක්වන ලෙසත් ජනතාවගේ හා අපේ මිහිතලයේ වුවමනාකම් සහ යහපැවැත්ම වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදෙන්නා වූ ජාත්‍යන්තර සහයෝගීතාවයේ ක්‍රමවේදයක් වෙනුවෙන් ක්‍රියාත්මක වන ලෙසත් අපි ඇ.එ.ජ. ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ඇ.එ.ජ. ඇතුළු ධනවාදී රටවල් විසින් ජයග්‍රාහී කරවන ලද ආර්ථික මොඩලයේ අසාර්ථකත්වය අද අප මුහුණපාන්නා වූ අර්බුදයන්ගේ බහුවිධ පෙරමුණවලින් ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. දිගු කාලයක් පුරා ජනතාව හා මිහිතලය සූරාකමින් සිටින පාලකයින්ට එරෙහිව සමානාත්මාව, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගන්නා වූ සියලු දෙනාට බලමුළු ගැන්වීමට කාලය පැමිණ ඇත.

ස්තූතියි,

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2020.10.27

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස