කොටි කොහොමත් පරාද වෙන බොහොම දුර්වල සංවිධානයක්….! ඒ නිසා උඩ දා ගෙන යුද ජයග්‍රහණයක් සමරන්න දෙයක් නෑ….! – ආචාර්ය නිර්මාල්…

May 18, 2021 at 9:48 pm | by emanisa.lk

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ 12 වන සැමරුම වෙනුවෙන් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

අන්ත දිළිඳු ජනකායක් වෙතින් පැන නැගි කැරැල්ලක් පරාජය කොට සතුටුවීම නැවැත්වීමට වසර 12ක් ගත වීත් බැරි වී තිබීම සමාජයක් සම්බන්ධයෙන් කවර නම් ඛේදවාචකයක්ද? සිංහලයා යුද්ධයේ ජය සමරා ප්‍රීති වනවා යනු යුද්ධය තීව්‍ර ලෙස අත් නොවිඳි දෙමළ තරුණයාට ද යුද්ධයේ තමන්ගේ පැත්ත පිළිබඳ උත්කර්ෂයට නංවන ලද කතාන්තරය කරගසා ගෙන යාමට උදව් කිරීමක් ද වේ.

යුද්ධය අවසන් වී ටික කලකට පසු දෙල්කඳ හන්දිය ආසන්නයේ පැවැති දෙරණ මැදිරියේ දී මට නලින් ද සිල්වා මහතා හමුවිය. වැඩසටහන අවසන් වී මගේ මෝටර් රථයේ නැගී අපි දෙදෙනා ම ඔහුගේ නිවස බලා යන අතර සුහද කතාබහකට අවසර ලැබුණි. ඔහු ප්‍රකාශ කළේ යුද්ධය නිසා තමන්ගේ ප්‍රධාන මතවාදී ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට නොහැකි වූ බවයි. ඔහුගෙන් කියවුණේ දැන් දෙමළ ජාතිකවාදය සමග පැටලීම අවසන් කිරීමට කාලය පැමිණ ඇති බව වැනි අදහසකි. නමුත් ඔහුට හෝ ඔහුගේ අනුගාමිකයින්ට එය කිරීමට නොහැකි වී ඇත.

ඒ කාරණයට වඩා මට අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ මේ යුධ ජයග්‍රහණයේ ආඩම්බර වීමට ඇත්තේ කුමක්ද යන්නයි. සිංහල ජනයා ආඩම්බර වන්නේ තමන්ගේ හමුදා ලෝකයේ භයානක ම ත්‍රස්තවාදී සංවිධානය පැරද වූ බවයි.

ඇත්ත වශයෙන්ම එල්ටීටීඊ සංවිධානය භයානක ම ත්‍රස්තවාදී සංවිධානය ලෙස හඳුන්වන ලද්දේ ඔවුන්ගේ හමුදාවේ ප්‍රභලත්වය නිසා නොව ඔවුන් විසින් අනුගමනය කෙරුණු මරාගෙන මැරෙන ක්‍රමය වැනි ක්‍රම නිසාය. යුධමය බලයක් ලෙස ගත් කල කවදත්, ප්‍රධාන වශයෙන් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන වශයෙන් ම ළමා සොල්දාදුවන්ගෙන් සැදුනු හමුදා ශක්තියට ලංකා හමුදාවේ බෙහෙවින් පුහුණු වූ සංවිධිත හා වෘත්තීමය යුධ ශක්තිය සමග දීර්ඝකාලීන යුධ ගැටුමකදී ජය ගැනීමේ හැකියාව නොවීය.

ඔවුනට සාර්ථක වීමට හැකියාව තිබුණේ ගරිල්ලා කණ්ඩායමක් ලෙසට පමණි. නමුත් යාපනය අල්ලා ගැනීමෙන් පසුව ඔවුන්ගේ යුද්ධයේ මෙම ගරිල්ලාමය මුහුණුවර අවසන් විය. ජාත්‍යන්තර අවි වෙළඳපොළෙන් ලංකාවේ හමුදාවට ලබා ගැනීමට නොහැකි වූ ඇතැම් ප්‍රබල අවි ලබා ගැනීමට එල්ටීටීඊයට හැකියාව ලැබී තිබූ නිසා ඔවුන්ගේ මිනිස් බලයේ අසමානතාව යම් තරමකට තුලනය විය.

එහෙත් ඇමරිකානු ඔත්තු සේවා සමග එකතු වී එල්ටීටීඊ පාවෙන අවි ගබඩා විනාශ කිරීමත් සමග මෙම වාසිය ද එල්ටීටීඊයට අහිමි විය. අනෙක් සාධකය ඉන්දීය සාධකයයි. එල්ටීටීඊය සිතුවේ ඉන්දියාව තමන් මුළුමනින් ම පරාජය කරනු ලැබීමට ලංකා හමුදාවලට ඉඩ නොදැනු ඇතැයි කියා ය. නමුත් දෙමළ ජාතික අරගලයේ එල්ටීටීඊ භූමිකාව අවසන් කර දැමීමට ඉන්දියාවට ද අවශ්‍ය වී තිබුණි.

ඒ තත්ත්වය තුළ එල්ටීටීඊ සංවිධානය මිලිටරිමය වශයෙන් අවසන් කිරීම කොහොමත් කාලය පිළිබද ප්‍රශ්නයක් පමණක් විය. මේ බව හොඳින් අවබෝධ කරගෙන සිටි ඇන්ටන් බාලසිංහම් ජී.ඇල්. පීරිස් සමග එකතු වී තමන්ට වාසිදායක දේශපාලන සමතයක් ඇති කර ගැනීමට උත්සාහ කරත් ප්‍රභාකරන්ගේ උද්දච්චකම ඊට ඉඩ දුන්නේ නැත. රනිල් වෙනුවට මහින්ද සිය ප්‍රතිවාදියා ලෙස තෝරාගැනීමට ඔහු තීරණය කළේය. කතාන්දරයේ ඉතිරිය ප්‍රකටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස