ඇමැතිගේ ප්‍රකාශයට එරෙහිව වර්ජනයක් නොකළේ වෘත්තීය සමිතිවල හොඳකම නිසයි…! – වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ…

February 3, 2022 at 2:15 pm | by emanisa.lk

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ප්‍රධාන ලේකම් රේණුක පෙරේරා විසින් නිකුත් කළ නිවේදනයක් පහත දැක්වෙයි.

අධිකරණ ඇමතිතුමා

ගරු ඇමතිතුමනි,

වෘත්තීය අරගල තහනම් කිරීමේ යටි අරමුණ විරෝධතාවට විලංගු දමා රටේ ඉතිරි හපයත් සූරාකෑමද?

අධිකරණ අමාත්‍යවරයා ලෙස මෑතදි එෆ්එම් නාලිකාවක වැඩ සටහනකට සහභාගී වෙමින් ඔබ කළ ප්‍රකාශ හුදු අමනෝඥ මැර ප්‍රකාශයන්ද නො එසේ නම් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළෙහි කස පුපුරණ හඬ ද යන්න පිළිබඳව මුළු රටම විමසිලිමත් ව තිබෙයි. ඔබ ඉදිරිපත් කළ මූලික අදහස් වූයේ,

• වරාය තෙල් විදුලිය සහ ජලය වැනි කාරණා ආර්ථික මර්මස්ථාන බව,
• විශේෂ ආර්ථික මර්මස්ථානවලට සම්බන්ධ සේවකයන්ට වෘත්තීය අරගල සිදුකිරීමට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන්ම තහනම් කළ යුතු බව සහ ඔවුන් කටයුතු කරන්නේ සුළු හේතුන් මත බව,
• රාජ්‍ය ආයතන පාඩු ලැබීමට දේශපාලකයන් ම නොව සේවකයන් වග කිවයුතු බව සහ ඒවාට ඉතා ඉක්මණින් විසඳුම් දිය නොහැකි අතර ඒ සම්බන්ධයෙන් දේශපාලනඥයන්ට ඇඟිල්ල දිගු කිරීම වැරදි බව
• මීට වඩා සැර ජනාධිපතිවරයෙක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වන බව සහ
• සියල්ල කඩාකප්පල් කිරීමේ විශාල න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වන බව යනාදියයි.

මේ රට මෙන්ම ආණ්ඩුව අද වැටී තිබෙන තත්ත්වයට හේතු ඔබට රාජ්‍ය තාන්ත්‍රික භාෂාවකට වෙනස් වූ භාෂාවකින් හොඳින් තේරුම් කර දිය යුතු බව ඒකී ප්‍රකාශවලින් පැහැදිලිවන ප්‍රධාන කරුණකි. ඔබ රටේ ආර්ථික මර්මස්ථාන ගැන කතා කරයි. රටේ ආර්ථික මර්මස්ථාන ක්‍රම ක්‍රමයෙන්  විකුණා දමමින් රටේ ස්වෛරීත්වයත් ආර්ථිකයත් කඩාකප්පල්  කරමින්  කටයුතු කරන්නේ වෘත්තීය සමිති නොවන බව ඔබ අමතක කරයි. කොළඹ වරාය නැගෙනහිර පර්‍යන්තය විකිණීමට උත්සාහ කළේ වෘත්තීය සමිති නොවේ. කොළඹ වරාය බටහිර පර්‍යන්තය, තෙල් ටැංකි, රටේ බලාගාර සහ බලශක්ති අයිතිය ටෙන්ඩර් පටිපාටියකුදු නොමැතිව නොරටුන්ට දුන්නේ ද වෘත්තීය සමිති නොවේ. සෙලන්දිවා සහ වෙනත් ක්‍රමවේදයන් හරහා රටේ ඉඩම් නොරටුන් අතට පත් කරමින් සිටින්නේ ද වෘත්තිය සමිති නොවේ. ඔබට අනුව මේවා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අදාළ නොවන සුළු සුළු දේවල් විය හැකිය.

නෙළුම් කුළුණේ සිට සඳුන් උයන දක්වා රටට පලක් නැති, ප්‍රමුඛතාවක් නොසලකා හතු පිපෙන්නා පරිදි එකිනෙකාගේ ආශාවන් පිනවා ගැනීමට පිටරටවලින් විශාල ම ණය කන්දරා ලබාගනිමින් සිදුකළ ව්‍යාපෘති හේතුවෙන්  අද රට වැටී තිබෙන ණය බර ද වෘත්තීය සමිති බිහි කළ දෙයක් නොවේ. රාජ්‍ය සේවයට දරාගත නොහැකි තරම් සේවකයන් දේශපාලන වුවමනාවන් මත නිකරුනේ සහ බඳවා ගැනීම් පටිපාටිවලින් තොරවම බඳවා ගත්තේ  ද වෘත්තීය සමිතිවල ඉල්ලීමෙන් නොවේ.
රටට නුසුදුසු කාබනික පොහොර වැඩි මිලට ගෙන ආවේත් අක්‍රමවත් ණයවර ලිපි හරහා අවසානයේ ඒන්තරවාසියට පවා වන්දි ගෙවුවේත්, සීනි කැටයේ සිට සුදුළූණු ගෙඩිය දක්වා රටේ මුදල් සොරා කෑවේත් මහ දවල් මහ බැංකුව සොරා කෑවේත් ඒවා නිවැරදි කොට ෆුට්නෝට් ලීවේත් වෘත්තීය සමිති නොවේ.

අධිකරණ ඇමතිතුමනි,

ගොවියන්ට පොහොර සපයා ගත නොහැක්කේ ද, පාරිභෝගිකයාට ගෑස් සපයා ගත නොහැක්කේද, මෙතෙක් පැවති ගෑස් සංයුතිය වෙනස් කළේ ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් නිසා නොවේ. සංචාරක සේවය ගොඩනැගීමට අවස්ථාව එළඹ තිබිය දී කොවිඩ් “හොඳටම කරමින්” තිබුණු යුක්රේනයෙන් සංචාරකයින් ගෙනැවිත් අත්හදා බලා සියල්ල කඩාකප්පල් කළේ ද වෘත්තීය සමිති නොවේ. විදේශ නියුක්තිකයන්ට රටට මුදල් නොයවන තැනට රට එපා කළේ වෘත්තිය සමිති නොවේ. රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාට අත නොදී ඔවුන් කඩාවැටෙන්නට සලසා රටේ කර්මාන්ත සංවර්ධනය නොකරමින් ඒ් රික්තකය පුරවන්නට ඩොලර් වියදම් කරමින් බිස්නස් කරන්නේ ද වෘත්තිය සමිති නොවේ. හාම්පුතුන් පඩි සහ දීමනා කප්පාදු කරද්දි ද  සේවකයන් රැකියාව කළා මිස මහමගට නො ආ බව මේ රජයට සහ ඔබට අල්ප හෝ අවබෝධයක්/මතකයක් නැතුවා සේය. ඔබ කෑගසා පෙන්වා සිටින්නේ ඒ ඩිමෙන්ෂියා තත්වයදැයි කණගාටුවෙන් වුවද විමසා සිටිය යුතුව තිබේ.

මිලියන දෙදහක් පාඩු ලැබූ මිල්කෝ ආයතනය වසරකට මිලියන 400ක් ලාභ ලැබුවේ සභාපති මාරු වීමෙන් මිස අලාභ ලබන විට සිටි සේවකයන් මාරුකොට නොවේ. ඒ් ආයතනයේ වැඩ වර්ජන නීතියෙන් තහනම්කොට නොවේ. ඔබට අනුව පසුගියදා එම සභාපතිවරයා ඉවත් කොට සුපුරුද දේශපාලනඥයෙකු පත් කළේ ඉක්මනට කළ නොහැකි කාර්ය එක වසරකින් කර පෙන්වූ නිසාදැයි ද විමසා සිටිය යුතුව තිබේ.

අධිකරණ ඇමතිවරයා ලෙස ඔබ ප්‍රකාශ කරන පරිදි යම් පීඩනයක් ඇති කරමින් පහුගිය වකවානුවේ යම් වෘත්තිය අරගලයක් පැවතුනේ නම් ඒ ගුරු අරගලය ම වේ. එයට මැදිහත් වී විසඳනවා වෙනුවට සාකච්ඡාවකට වත් නො එළඹීමෙන්  දින සීයකට වඩා කල් ගත කළේ මේ ආණ්ඩුව රටේ දරුවන්ගේ අධ්‍යාපනය අපේ ආර්ථික මර්මස්ථානයක් ලෙස හදුනා නොගත් හෙයින් දැයි විමසා සිටිය යුතුව තිබේ. ඔවුන් නැවත මහ මඟට ගෙන ආ මූල බීජය සැපයූ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ පනත් කෙටුම්පත කෙටුම්පත් කළේ ද ගෙන ආවේද  වෘත්තීය සමිති නොවේ.

දෙස් විදෙස් සම්මුතීන් නීතිරීති රාශියක් උල්ලංඝනය කරමින්, පිටකොටුවේ බ්ලැක් මාකට්ඒකෙන් ලබාගත් කලු සල්ලි යොදාගෙන, උතුරු කොරියාවෙන් ආයුධ ගෙන ආ බවත් – කලු සල්ලි ගෙන එන මාවත් විවෘතව තැබීම හොඳ බවත් කියන්නේ සහ එමගින් ජාත්‍යන්තරව පවතින අද්‍යතන වාතාවරණය තුළ තවත් ශ්‍රී ලංකාව අපකීර්තියට සහ සම්බාධක පිළිබද අනතුරකට පත් කරන්නේ ද වෘත්තිය සමිති නොවේ. අධිකරණ අමාත්‍යවරයා ලෙස රටේ ද ජාත්‍යන්තරයේ ද පවතින නීති නොසලකමින් සිදුකරන මෙවන් ප්‍රකාශ, නොකළ යුතු බවට සෙසු අමාත්‍යවරයෙකු දැනුවත් කිරීමට තරම් ඔබට හැකි වේ යැයි සිතිය නොහැක්කේ මානව හිමිකම් උල්ලංඝනය වන නීතියක් ව්‍යවස්ථාවටම එක් කළ යුතු යැයි අධිකරණ අමාත්‍යවරයා ලෙස ප්‍රකාශ කිරීමෙන් මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව චෝදනා එල්ලව ඇති අප රටට සිදුවන හානිය සහ අපකීර්තියවත් තේරුම් ගැනීමට තරම් අවබෝධයක් හෝ ඔබ‌ට නැත්දැයි සැක සිතෙන හෙයිනි.

මීට සමාන්තරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක්ද අද වන විට ගෙනැවිත් තිබේ. මානව හිමිකම් කවුන්සලයේ අවශ්‍යතා සැපිරීමට ගෙන එන්නා සේ පෙන්වා සිටීමට උත්සාහ දැරුවද මෙහි යටි උවමනාව, අධිකරණ අමාත්‍යවරයා වන ඔබ අමු අමුවේ ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කරන වෘත්තිය සමිති මර්දනය දැයි අපට සැක සිතේ.  පෙර රජය සමයේ ප්‍රතිතස්ත පනත නමින් ගෙනාවේ ද එවන් උත්සාහයක් ම ය.  ජාත්‍යන්තර කීර්තිය වඩා ගැනීමේ සැබෑ උවමනාවක් තිබේ නම් අමාත්‍යවරුන් සිදු කළ යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික පන්නයේ වැදගත් ප්‍රකාශ මිස මෙවන් නුසුදුසු ප්‍රකාශ නොවේ. එමෙන්ම  සැබෑවට ත්‍රස්තවාදය වැළැක්වීමේ උවමනාවක් තිබේනම් ත්‍රස්තවාදී මුදල් ගනුදෙනුවල හදවත වන කළු මුදල් බැංකු ක්‍රම පවත්වා ගැනීමේ වටිනාකම තැන තැන රජයේ අමාත්‍යවරුන් ප්‍රකාශ නොකරනු ඇත. පාස්කු කොමිසම ඉදිරිපත් කළ  යෝජනා නොසලකමින් අමුතුම තාලයකට ත්‍රස්තවාදය වැලැක්වීමක්  ගැන කරළියට ගෙන එන්නේ කුමක් අරබයා දැයි අවධානයෙන් සිටීමට ද පොදු ජනතාවට සිදුව තිබේ.

ජනාධිපතිවරයා සැර මදි බවට ඔබ පවසන කාරණාව සම්බන්ධයෙන් අප එකඟ වෙන්නේ ඔබ අදහස්කරන අයුරින් නොවේ. අප ජනාධිපතිතුමා සැර මදි යැයි දකින්නේ පාපුවරුවේ ගිය සුසිල් ප්‍රේමජයන්ත වැනි රාජ්‍ය අමාත්‍යවරයකු කළ  කුඩා ප්‍රකාශයක් හේතුවෙන් ඉවත් කිරීමට තරම් සැර වෙද්දි රටම ජාත්‍යන්තර අපකීර්තියට පත් කරන ප්‍රකාශ සිදුකරන ඔබවැනි අමාත්‍යවරුන් ඉදිරියේ ඔහු සැර මදි වන හෙයිනි.

මේ සියලු කරුණු මෙවන් ලිපියක් හරහා ඔබට ඉදිරිපත් කරනුයේ වෘත්තීය සමිති යනු ඉතා උසස්  සහ ඉතා පිවිතුරු  සංවිධාන ලෙස පෙන්වා සිටීමට නොවේ. ඒවා එකිනෙක අතර පවතින ගැටලුම  ඒවායේ යම් යම් සැබෑ ස්වරූපයත් මතුපිටට ගෙන එයි. එහෙත් ඉහත ප්‍රකාශ කළ බොහොමයක් වැරදිවලට එරෙහිව නැගී සිටින්නට, ජනාධිපතිතුමාට නොමැතිවූ සැර සහිතව නැගී සිටින්නට මේ වෘත්තිය සමිති සමත් බව නම් අතීතයෙත් අනාගතයේත් පෙන්වා සිටි සහ පෙන්වා සිටින බව රටේ සියලු වෘත්තිය සමිති සමග හිතවත්ව, ඒකාබද්ධව කටයුතු කරන අප හොඳින් දනී. මේ ආණ්ඩුවට රට විනාශ කොට අවසන් කිරීමට ඇති අවසන් බාධාව ද වෘත්තිය සමිති වේ.

කුඩාම වෘත්තීය සමිතියක් සතු නියෝජනයවත් තමා වෙත නැති ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වුවත් ඔබ රජයේ අමාත්‍යවරයෙකු ලෙස තම ප්‍රකාශයන් මුලුමහත් රටක් වෙනුවෙන් කරනු ලබන බව අවබෝධ කොටගෙන සිටිය යුතු බවත් තමාගේ මන:කල්පිත හිතළු ප්‍රකාශ නොකළ යුතු බවත් ඔබට මතක් කරදිය යුතුමය. එය ඔබගේ මතයද නොඑසේ නම් රජයේ මතයද යන්න වහා පැහැදිලි කළ යුතුය. සුළුකොට තැකිය හැකි ප්‍රකාශයක් නොවන මෙම අමන ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා තුරු වැඩවැරීමට තරම් සුදුසු වුවත් කිසිදු වෘත්තීය සමිතියක් මේ මොහොතේ එසේ සිදු නොකරන්නේ ඔබ පෙන්වා දීමට යත්න දැරූ පරිදි වෘත්තීය සමිති යනු කඩාකප්පල්කාරීන් නොවන හෙයිනි.

අවසන් වශයෙන් රට විනාශයට ගෙන යාම, සහ සැබෑ කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ඔබ වැනි දේශපාලකයන් කළ යුත්තේ තමන් වෙතටම ඇඟිල්ල දිගු කරගැනීම බව මතක් කර දිය යුතුව තිබේ. ඒසේම අප සියලු දෙනාගේම බරපතළ වරද වනුයේ නුසුදුසු පුද්ගලයන් දේශපාලකයන් ලෙස පිළිගැනීම බව ද අප විසින් ම යළි යළිත් අවබෝධ කරගනිමින් සහ තහවුරු කරගනිමින් සිටින බව ද දන්වා සිටියයුතුව තිබේ.

මේ වගට හිතවත්

කපිල රේණුක පෙරේරා
ප්‍රධාන ලේකම්
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස