සජිත් ජනාධිපතිවරණයට නෙමේ ඇල්පිටියේ ඡන්දේට දාන්නවත් සුදුසු නෑ! අගමැතිතුමා ජනාධිපති කරන්න අපි වැඩ කරනවා! – සරත් ෆොන්සේකා

September 4, 2019 at 11:59 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට තබා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙය වීමට ලබා දීමටවත් සුදුසු අයකු නොවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මීට පෙර මැතිවරණවලදී ජාතික මට්ටමෙන් දේශපාලනය කරනවා තබා තම දිස්ත්‍රික්කයවත් සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි කටයුතු නොකළ බව මන්ත්‍රීවරයා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන හතරෙන් දෙකක ආසන බලමණ්ඩල ඇමතීම සඳහා ද ගියේ තමන් බවයි ඒ මහතා සිහිපත් කළේ.

“මීට කලින් ඡන්ද තුනක් තිබ්බනෙ. ඒ ඡන්ද තුනේම එතුමා ආසනෙන් එළියටවත් ආවෙ නෑ. අඩුගාණෙ දිස්ත්‍රික්කෙ ඇතුලෙවත් දිව්වෙ නෑ. ගියපාර ඡන්දෙදි එතුමාගෙ දිස්ත්‍රික්කෙ ආසන හතරෙන් දෙකක ආසන බල මණ්ඩලවලට මමයි ගිහිල්ලා කතා කළේ.

දැන් එතුමා තමා ජනාධිපති අපේක්ෂකයා කිය කිය එක තැන දුවනවා. ඕනෙ කෙනෙකුට ඕනෙ දෙයක් කියන්න පුළුවන්. නමුත් මෙච්චරකල් ක්‍රියාවෙන් පෙන්නලා නෑනෙ.

රට වටේ දුවලා, මහන්සි අරගෙන ජාතික මට්ටමේ දේශපාලනය කරනවා අපි දැක්කෙ නෑනෙ. ඒ හින්දා මේ වෙලාවට නැගිටිනවා, මේ වෙලාවට නිදියනවා කියන කතා විස්වාස කරන්න තරම් අපි මෝඩයෝ නෙවෙයි.

කුරුණෑගල රැලිය පවත්වන්න එපා කියලා පක්ෂ නායකයා දැනුම් දීලා තියෙනවා. ඊට එරෙහිව කටයුතු කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න ඕන.

එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙන්න අදහසක් තියෙනවා. එතුමා ඉදිරිපත් වුණොත් අපි ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනවා.”

සරත් ෆොන්සේකා මේ බව පැවසුවේ ඊයේ (03) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස