සජිත්ට නුදුන්නොත් ඇල්පිටිය එජාප අපේක්ෂක පිරිස ඉල්ලා අස්වීමේ සැලසුමක්! ඊට පෙර ඇල්පිටිය පුංචි ඡන්දය කල් දමන කුමන්ත්‍රණයක්!

September 18, 2019 at 11:14 am | by emanisa.lk

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මෙම මස 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ. ඡන්ද විමසීම ලබන මස 11 වැනි දින පැවත්වීමට නියමිතව ඇත. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භකොට තිබේ. කොට්‌ඨාශ මට්‌ටමින් ගෙන් ගෙට යැම හා ප්‍රචාරක කටයුතු පොහොට්‌ටුව මගින් ආරම්භකොට ඇත. ප්‍රචාරක රැස්‌වීම් සඳහා රමේෂ්, මොහාන්, චන්දිම, ගීතා, සම්පත්, චම්ලි දුල්ෂාන්, ඉසුරු දොඩංගොඩ ඇතුළු දේශපාලනඥයන් සහභාගි වෙති. ශ්‍රී.ල.නි.පක්‌ෂයද පසුගියදා සිය අපේක්‌ෂකයන් කැඳවා මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනු ලැබීය.

එහෙත් එජාපය තවමත් හරිහැටි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කොට නැත. පසුගියදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග වදින එජාප අපේක්‌ෂකයන් කැඳවා වජිර අබේවර්ධන, ගයන්ත හා අකිල විරාඡ්කාරියවසම් යන ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටියේ දී රැස්‌වීමක්‌ පවත්වා තිබේ. තවමත් එජාපය විසින් සක්‍රිය ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ නොකිරීම පොහොට්‌ටුවේ අයට විශාල ගැටලුවක්‌ වී තිබේ. මැතිවරණය කල්දමා ගැනීම සඳහා එජාපය විසින් නොයෙකුත් උප්පරවැට්‌ටි හා සැලසුම් දියත් කරන බවට පොහොට්‌ටුවේ ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇත.

“ආණ්‌ඩුව උත්සාහ කරන්නේ කුමක්‌ හෝ උප්පරවැට්‌ටියක්‌ දමා ඡන්දය කල්දමා ගන්න. මැටිවිලිය කොට්‌ඨාශයේ යූ.එන්.පී අපේක්‌ෂකයා මියගිහින්. මේ ගැන මැතිවරණ කොමසාරිස්‌ගෙන් අපි ඇසුවා. ඒකට තමයි ජාතික ලැයිස්‌තුව තියෙන්නේ කියලා ඔහු කීවා. 2017 නාම ලේඛනයට අනුව තමයි නාම යෝජනා කැඳවලා තිබෙන්නේ. නමුත් ඡන්දය පවත්වන්නේ 2018 නාම ලේඛනයට අනුව. දැන් එහෙම තර්කයක්‌ දමලා උසාවි යන්න සූදානමක්‌ තියෙන බව පේනවා.” යෑයි දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල එජාපයේ නිහඬතාව ගැන සඳහන් කරමින් එසේ කීවේය.

මේ අතර සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට ජනාධිපති අපේක්‌ෂක ධුරය ලබා නුදුනහොත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ එජාප අපේක්‌ෂක කණ්‌ඩායම ඉවත්වීමේ සූදානමක්‌ පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස