බුදුන් වහන්සේ ගාථා මන්ත්‍ර කියා අලි දමනය කළ ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි! එජාප ජනාධිපති අපේක්ෂ සජිත් බුදු දහම විකෘති කරනවා! – ගම්මන්පිල

September 17, 2019 at 9:23 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස බුදුදහම විකෘති කරන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල චෝදනා කරයි.

ඊයේ (16) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවැසීය.

“එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හරි අපූරු කතාවක් කිව්වා. ඒ තමයි බුදු රජාණන් වහන්සේ නාලාගිරි ඇතා දමනය කළේ ගාථාවකින් කියලා. ඒක විහිළුවක් කියලා සිතනවා නම් එයාත් එක්ක කලා වැව ළඟට යන්න ආවොත් වන අලි දමනය කරලා පෙන්වනවා කියලාත් කිව්වා.

සජිත් මහත්තයට වන අලි දමනය කරන්න පුළුවන් වුණත් දශකයකට වැඩි කාලයක් එජාප නායක අලියා දමනය කර ගන්න බැරි වෙලා තිබෙනවා.

එතුමා අලියා ලකුණ දරන පක්ෂයේ නායකත්වයට ඉව ඇල්ලුවත් නාලාගිරි දමනය පිළිබඳ පැවසුවේ මුසාවක්. බුදු රජාණන් වහන්සේ කිසිම තැනක මන්ත්‍රවලින් ගාථාවලින් විස්කම් පාපු ඉන්ද්‍රජාලකයෙකු නොවේ. උන්වහන්සේ අනුන් දමනය කළේ කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ තර්කන හැකියාව වැනි බුදු ගුණවලින්. නාලාගිරි දමනය ගැන අපට අසන්න ලැබෙන්නේ ජයමංගල ගාථා වලයි.

නාලාගිරිං ගජවරං අතිමත්ත භූතං

දාවග්ගි චක්ක මසනීව සුදාරුණං තං

මෙත්තම්බුසේක විධිනා ජිතවා මුනින්දෝ

තං තේජසා භවතු තේ ජයමංගලානි

සුරාවෙන් මත් වී දරුණු ලෙස පැමිණි නාලාගිරි නම් ඇතා බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය නමැති සිසිල් පැනින් දමනය කළා කියලායි ඒ ගාථාවේ කියන්නේ. ඒ කියන්නේ නාලාගිරි ඇතා දමනය කළේ මෛත්‍රීය පෑමෙන් මිස ගාථා කීමෙන් නොවේ. එජාපයේ ජනාධිපති අපේක්ෂකයා විතරක් නොවෙයි වත්මන් රජයේ සංස්කෘතික අමාත්‍යවරයා බුදු දහම විකෘති කරනවා නම් අද බුදු දහම මුහුණ පා ඇති අවාසනාවන්ත ඉරණමට මීටත් වඩා තවත් සාක්ෂියක් අවශ්‍ය නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස