නැට්ට විසින් බල්ලා නටවන පාලනය නතර කරන්න නම් දිනන පක්ෂයට ප්‍රසාද ආසන 15ක් ලබා දිය යුතුයි! – ගම්මන්පිල

June 11, 2019 at 2:22 pm | by emanisa.lk

2019 ජූනි 10 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්
මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ හෝමාගම ආසන සංවිධායක ප්‍රියන්ත හේරත් යන මහත්වරුන් ද සහභාගී විය.

සළු වීමේ ප්‍රතිශතය 12.5%ට වැඩි කර පලක් නෑ. ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් දිය යුතුයි

වර්තමාන මැතිවරණ ක්‍රමය තුළ අන්තවාදී සුළු පක්ෂවලට යට නොවී ස්ථාවර ආණ්ඩුවක් තනා රට පාලනය කිරීමට නම් ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධුර 15ක් ලබා දිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඊයේ (10) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

එජාපය නමැති බල්ලා රිෂාඩ් නමැති වලිගය විසින් වනන හැටි පසුගිය සතියේ අපි දැක්කා. රිෂාඩ් ඇමතිවරයාට ඉල්ලා අස්වන මෙන් එජාප කතෝලික මැති ඇමතිවරු බල කරන විට එතුමා කිව්වේ මොකද්ද? මට අයින් වෙන්න පුළුවන්. හැබැයි මගේ මන්ත්‍රිවරුන් පස්දෙනා සමග මම ආණ්ඩුවෙන් යනවා. ඒක කිව්වා විතරයි එජාප නායකයින්ගේ හුලං බැහැලා රිෂාඩ් ඉදිරියේ දණ ගැහුව්වා. බල්ලා වලිගය වනනු මිස වලිගයට බල්ලා වනන්න ඉඩ දෙන්න බෑ.

සුළු පක්ෂ විසින් ආණ්ඩු නටවන එක ආරම්භ වුණේ මන්ත්‍රි ධූර ලබා ගන්න සළු වීමට පාර්ලිමේන්තු මැතිවරණයක දී ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්වා ප්‍රේමදාස ජනපතිතුමා විසින් අඩු කළ නිසා කියලා හැමෝම තොරතෝංචියක් නැතුව කියනවා. නමුත් ඇත්ත ඒක නොවේ. දැන් සළු වන ප්‍රතිශතය 12.5% දක්වා වැඩි කලොත් මුස්ලිම් පක්ෂ ආණ්ඩු නටවන එක නතර වෙනවා ද? කිසිසේත්ම නෑ. ඔවුන් 1994 පසු කවදාවත් ස්වාධීනව ඡන්දය ඉල්ලා නෑ. ඔවුන් ඡන්දය ඉල්ලන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් නිසා සළු වීමේ ප්‍රතිශතය කීය වුණත් ඔවුන්ට ඒක අදාල නෑ.

සළුවීම් ප්‍රතිශතය 12.5% දක්වා වැඩි කළොත් මුස්ලිම් පක්ෂවලට කෙසේ වෙතත් ජවිපෙ සහ ඊපිඩීපිවලට නම් මන්ත්‍රි ධූර නැති වෙනවා. ඊපිඩීපිවලට මන්ත්‍රි ධූර නැති කළොත් උතුර ටීඑන්ඒ ඒකාධිකාරයට යට වෙනවා. ජවිපෙ මතවාද සමග අපි එකඟ නෑ. නමුත් ඔවුන්ට සිය මතවාදවන් ප්‍රකාශ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තිබිය යුතුයි. ජවිපෙ පාර්ලිමේන්තුවෙන් පිට මං කළොත් නැවත ආයුධ අතට ගන්නත් ඉඩ තිබෙනවා.

ප්‍රධාන පක්ෂවලට සුළු පක්ෂ මත යැපෙන්න වෙලා තිබෙන්නේ පවතින මැතිවරණ ක්‍රමය නිසා. මේ ක්‍රමය යටතේ දෙවරක් හැර අනිත් සෑම අවස්ථාවකම දිනන පක්ෂයට පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය වන 113 ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. ඉතිහාසය පුරා දිනන පක්ෂයට ලැබී තිබෙන්නේ මන්ත්‍රි ධූර 105ක් සහ 109ක් අතර ගණනක්. පසුගිය පාරලිමේන්තු මැතිවරණයේ දී එජාපයට ලැබුණේ මන්ත්‍රි ධූර 106යි.

කවුරු දින්නත් දිනන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් ලබා දුන්නොත් සුළු පක්ෂ මත යැපෙන්නේ නැතුව ස්ථාවර ආණ්ඩුවක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආසන 105 අරගෙන මැතිවරණය යම් පක්ෂයක් ජයග්‍රහණය කළහොත් ප්‍රසාද මන්ත්‍රි ධුර 15ත් සමග මන්ත්‍රිධූර 120 ලැබෙනවා. එවිට මන්ත්‍රිවරුන් හත් අට දෙනෙකුට අපි ආණ්ඩුවෙන් යනවා කියලා ආණ්ඩුව නටවන්නට බෑ. ඒ නිසා සළුවීමේ ප්‍රතිශතය 12.5% දක්වා වැඩි කිරීම වෙනුවට ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා දිනන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් ලබා දීමට ව්‍යවස්ථා සංශෝධනයක් හරහා කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස