ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ කාදිනල්තුමාගේ අනතුරු ඇඟවීම පිළිබඳ විමර්ශනයක්! ජාතික ආරක්ෂාව තර කරයි!

October 3, 2019 at 6:01 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් ප්‍රහාරයක් කතෝලික දේවස්ථානවලට එල්ල වීමේ අවදානමක් ඇතැයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරයාට ලබාදුන් ලිපියට අනුව ඒ ගැන සොයා බැලීමට බුද්ධි ඒජන්සි අටම යොදවා විමර්ශනයක් කිරීමට ජනාධිපතිවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයේදී පෙරේදා (1) නියෝග කර ඇත.

මේ අනුව කාදිනල්තුමා සඳහන් කරන එහෙත් බුද්ධි අංශවලට නොලැබුණු අනතුරු හැඟවීම ගැන රාජ්‍ය ඔත්තු සේවාව (SIS), යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය (MIC), ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), පොලිස්පති යටතේ ඇති විශේෂ කාර්යාංශය (Special Branch), බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය, නාවික හමුදා බුද්ධි අංශය හා ගුවන් හමුදා බුද්ධි අංශය යොදවා විමර්ශනයක් අරඹා ඇත.

කාදිනල්තුමන් මේ සම්බන්ධව ඉකුත් 30 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යවන ලද ලිපියේ දින දහයක කාල සීමාවක් සඳහන් කර ඇතත් එම තොරතුරු සම්බන්ධ මූලාශ්‍රයක් සඳහන් කර තිබී නැත. පාස්කු ප්‍රහාරයෙන් පසුව කතෝලික දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ යොදවා තිබූ අතර එය මෑතකදී ඉවත් කරන ලදී.

කාදිනල්තුමාගේ ලිපියෙන් පසුව යළිත් එම ආරක්ෂාව ලබාදී බුද්ධි අංශ යොදවා ඇති අතර එළැඹෙන කාලසීමාව ජනාධිපතිවරණයේ උණුසුම් කාලසීමාවක් බැවින් පෙරේදා (1) සිට රටේ ආරක්ෂාව තර කිරීමටද ජාතික ආරක්ෂක කවුන්සිලයේදී තීරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස