කොවිඩ් එන්නත හැදූ ෆයිසර් සමාගමේ පැටිකිරිය මෙන්න! ඖෂධ මාෆියාවට එරෙහි සේනක බිබිලේ නිහඬ කළෙත් ෆයිසර්!

December 8, 2020 at 11:56 am | by emanisa.lk

ෆයිසර් සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ කොවිඩ් එන්නත මුල්වරට හෙට දින සිට බ්‍රිතාන්‍ය විසින් සිය රටේ රෝගීන්ට ලබාදීමට කටයුතු ආරම්භ කොට ඇත.බ්‍රිතාන්‍යයට අමතරව බහරේනය විසින්ද ඒ සදහා අනුමැතිය ලබාදී ඇති අතර නුදුරේම තව රටවල් විසින් ෆයිසර් එන්නත සදහා අනුමැතිය ලබාදෙනු ඇත.

ෆයිසර් සමාගම යනු ලෝකයේ ප්‍රධානතම බහුජාතික ඖෂධ නිෂ්පාදන සමාගමකි.1849 වසරේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බෘක්ලීන් හීදි චාල්ස් ෆයිසර් සහ චාල්ස් ඉයර්හාර්ට් විසින් ආරම්භ කරන ලද මෙම සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරනු ලබන්නෙ ඇල්බර්ට් බෝලා විසිනි.වර්තමානයේදි මෙම සමාගමේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 51 ක් වන අතර එය එක්සත් ජනපදයේ වැඩිම ආදායමක් උපයන සමාගම් නාමයන් අතර නිරන්තරයෙන් අග්‍රස්ථානයේ වැජඹෙන්නක් වේ.

ෆයිසර් සමාගම ලෝකයේ ප්‍රසිද්ධ වූයේ ඖෂධ නිෂ්පාදනය අතින්ම පමණක් නොවේ.වෙනත් වෙනත් විවිධවූ මාතෘකාවන් ඔස්සෙ ෆයිසර් සමාගම ඉතිහාසයේ සිටම පුවත් මැවූ සමාගමක් විය.මෑතකාලීනව ඉන් ප්‍රසිද්ධම සිද්ධිය වූයේ නයිජීරියාවේ trovafloxacin ඖෂධය පිලිබදව හටගත් මතභේදාත්මක තත්වයයි.1996 වසරේ නයිජීරියාවේ කානෝ ප්‍රදේශය තුල සරම්ප,කොලරා සහ මෙනින්ජයිටිස් රෝග දරුණු වසංගතයක් ලෙසින් පැතිර යන්නට වූ අතර මෙහිදී ෆයිසර් සමාගම තම trovafloxacin නම් ඖෂධය වෙනුවෙන් වූ සායනික පරීක්ෂාවක් උදෙසා කානෝ ප්‍රදේශයේ ළමුන් 200 දෙනෙක් යොදාගන්නා ලදී.කෙසේවෙතත් පසුව මෙලෙසින් යොදාගත් ළමුන් 50 දෙනෙකු මිය ගිය අතර ඉතිරි ළමුන් පිරිසටද මානසික සහ ශාරීරික වශයෙන් විවිධාකාරයේ අසාත්මිකතාවයන් හටගන්නා ලදී.පසුව 2001 වසරේදි අදාල ළමුන්ගේ දෙමාපියන් සහ නයිජීරියානු රජය එක්ව මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් අතර අවසානයේදී ඇමරිකානු ඩොලර් මිලියන 75 ක වන්දියක් ගෙවීමට එකගවීම නිසාවෙන් මෙම ගැටලුව සමථයකට පත්කරගැනීමට ෆයිසර් සමාගමට හැකිවිය.(“අබ්දුල්ලාහි. එදිරිව ෆයිසර්” නම් නඩු තීන්දුව මේ සිද්ධිය හා සබැදෙන නඩු තීරණය වේ.)

එමෙන්ම මේ සිද්ධියට අදාලවම තවත් කුප්‍රකට සිදුවීමක් 2010 වසරේ විකිලීක්ස් මගින් ඉදිරිපත් කල තොරතුරු පත්‍රිකාවක් මගින් අනාවරණය විය. ඒ මෙම සිද්ධිය වන විට නයිජීරියාවේ නීතිපති ලෙසින් කටයුතු කල “මයිකල් අඕන්ඩොආකා” සිදුකරන ලද විෂමාචාරයන් සොයාබැලීම වෙනුවෙන් ෆයිසර් සමාගම විසින්ම පරීක්ෂකයන් පිරිසක් යොදා ගෙන ඇතැයි යන කාරණයයි.එවැනි ක්‍රමයක් මගින් අනාවරණය කරගන්නා තොරතුරක් ඔහුට එරෙහිව යොදාගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වූ අතර කෙසේවෙතත් පසුව මයිකල් අඕන්ඩොආකා නයිජීරියාවේ අධිකරණ ඇමති බවටද පත්විය.

ෆයිසර් සමාගම බලපෑම් කලේ නයිජීරියාවට පමණක්ම නොවේ.70-77 සමගි පෙරමුණු රජය යටතේ සේනක බිබිලේ මහතා විසින් ආරම්භ කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය කඩාකප්පල් කර දැමීම වෙනුවෙන්ද ඔවුන් සෑහෙන දායකත්වයක් දරන ලදී.මෙරට ඖෂධ සමාගම,බහුජාතික ඖෂධ සමාගම් හා එක්ව වෛද්‍ය නාමය වෙනුවට වෙළද නාමයෙන් ඖෂධ රෝගීන් හට ලබාදීමත් එමගින් සිදුකරන ලද උග්‍ර රෝගීන් සූරාකෑම පිලිබදවත්,එය වලක්වාගැනීම උදෙසා වෛද්‍ය සේනක බිබිලේ විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආරම්භ කිරීමත් පිලිබදව කරුණු ඔබ දැනටමත් නොදන්නවා විය නොහැක.අදාල සංස්ථාව මගින් සහ බිබිලේ මහතාගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය මගින් රෝගීන් සූරාකන ඖෂධ මාෆියාවන්‍ට එල්ල කරනු ලැබුවේ සුලුපටු මරුපහරක් නොවේ.මෙම බිබිලේ ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියාත්මක වන ලෙසට ඒ අවධිය වන විට මෙරට සිටි ෆයිසර් සමාගමේ නියෝජිත වොරන් විලියම්ස් ඇමරිකානු රාජ්‍ය ලේකම් කාර්‍යාලය වෙත දැනුම් දුන් අතර ඇමරිකානු රජය ඒ අනුව යමින් සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය අත් නොහරින්නේ නම් ශ්‍රී ලංකාවට ලබාදෙන්නාවූ PL 480 ඇතුලු අනෙකුත් ආධාරයන් කපාහරින බවට තර්ජනය කරන ලදී.PL 480 යනු “Food for Peace” යන විකාර ආදර්ශ පාඨය යටතේ තුන්වෙනි ලෝකයේ රටවල්වලට ඇමරිකානු ආහාර ආධාර සැපයූ ක්‍රමවේදය වන අතර ලංකාව සහන මිලට තිරිගු පිටි ඇමරිකාවෙන් ලබාගත්තේද ඔය ක්‍රමවේදයට යටත්වය.ඇමරිකාව සමගි පෙරමුණු ආණ්ඩුවට ඔය බලපෑම සිදුකරනුයේ 1976 වසරේදී වන අතර සමගි පෙරමුණු රජය අනුගමනය කල උග්‍ර වාමාංශික ප්‍රතිපත්ති හේතුවෙන් දරුණු ආහාර අර්බුදයකින් ජනතාව පීඩා විදි නිසාත් සමගි පෙරමුණු ආණ්ඩුවේ වාමාංශික පක්ෂ ඒ වන විටත් විපක්ෂයේ අසුන් ගැනීම නිසාවෙන් වුනු ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද නිසාවෙනුත් අන්ත අසරණ භාවයට පත්වුනු ශ්‍රී ලංකා රජයට ඇමරිකානු බලපෑම්වලට අවනත වනවා හැර වෙන විකල්පයක් ඒ වන විට පැවතියේද නැත.වෛද්‍ය සේනක බිබිලේ මහතාගෙ ඖෂධ ප්‍රතිපත්තියට ඉන්පසුව තිත තැබුනු අතර එයින් කලකිරුනු බිබිලේ මහතා ඉන්පසුව එක්සත් ජාතීන්ගේ තනතුරක් භාරගෙන ගයනාවට ගොස් එහිදී අබිරහස් මරණයකට උරුමකම් කියමින් සිය දිවිගමන නිමා කරන ලදී.

ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තිය දියාරු කිරීම වෙනුවෙන් ෆයිසර් සමාගම ඇමරිකානු රාජ්‍ය ලේකම් කාර්‍යාලය හා දියත් කල කුමන්ත්‍රණයේ තොරතුරුද පසුකාලීනව විකීලීක්ස් මගින් හෙලිදරව් වූ අතර අදාල විකිලීක්ස් වාර්තාව මීට වසර කිහිපයකට Colombo Tribune හී පලවූ ලිපියකද අන්තර්ගත විය.(එම ලිපිය 👇 පලවෙනි කමෙන්ට් එකෙන් )

ඉහත අවස්ථාවන් දෙකෙහිම ෆයිසර්හී ක්‍රියාකාරීත්වය ප්‍රශ්නගත වූයේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවමය.සේනක බිබිලේ මහතා වුවත් වෛද්‍ය නාමයෙන් ලබාදිය යුතුය යනුවෙන් පැවසුවේ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ඖෂධයන්ම මිසක වෙනත් දේශීය වෛද්‍ය ක්‍රමයකට අදාල ඖෂධ නොවේ.එවන් පසුබිමක මෙවැනි ආකාරයෙන් ක්‍රියාත්මක වන මෙවැනි ඖෂධ සමාගම් සහ ඔවුන්ගේ අනුගාමිකයන් දේශීය වෛද්‍ය ක්‍රමයක් මගින් ඖෂධයක් නිර්මාණය කරන්න දරන ප්‍රයත්නයකට කවර නම් බාධාවන් එල්ල නොකරයිද ?

එමෙන්ම දේශීය දැනුම් පද්ධතීන් ඔස්සෙ යමින් ඖෂධයන් නිර්මාණය කිරීමට යත්න දරණ පුද්ගලයන් බිහිවන විට අදාල ඖෂධයේ තත්වය හෝ ප්‍රමිතිය පිලිබදව සෙවීම පසෙකලා එය නිර්මාණය කරන පුද්ගලයාගෙ පැටිකිරිය හොයන තත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක එසේ සොයන පුද්ගලයන් ෆයිසර් සමාගමේ අතීත පැටිකිරිය සොයාබැලීමට තරම් නම්‍යශීලි නොවන්නෙ ඇයිද කියන කාරණයද මේ අවස්ථාව්දී සෑහෙන උභතෝකෝටික කාරණයකි.

මිගාර සමරකෝන්

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස