ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.
ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය හා කෝපය ඉතා ම සාධාරණ බව ද ඔහු පැවසුවේය .
ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු ඒ අමාත්‍යවරුන් අමතමිනි.
රජයෙන් අතපසුවීම් සිදුවූ බවත් එම අතපසුවීම් නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කිරීමට තමා සූදානම් බවත් ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති අදහස් සාකච්ඡා කර සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවශ්‍ය සහය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බවද ජනාධිපතිවරයා කීවේය.
ඇමැති තනතුරු වරප්‍රසාද නොව විශාල වගකීමක්වන හෙයින් කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකර අවංක කාර්යක්ෂම පිරිසුදු පාලනයකට කැප වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ගෙන් එහිදී ඉල්ලීමක් කළේය.
සියලු ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැපවුණු ඒවා බවට පත් කළ යුතු යැයිද බොහෝ ආයතන බරපතළ මූල්‍ය අර්බුද තත්ත්වයක පවතින හෙයින් රැකියාවලින් ඒවා පිරවීමට කටයුතු නොකර රැකියා නිෂ්පාදනය කරන ආයතන බවට පත් පත් කිරීම අමාත්‍යවරුන් සතු වගකීමක් යැයිද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.
ආර්ථික අර්බුදය නිසා මතු වූ ගැටලු රාශියකින් ජනතාව පීඩාවට පත්ව සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ ගැන කනගාටු වන බව ද පැවැසුවේය.
වර්තමාන අභියෝග සහ දුෂ්කරතා කළමනාකරණය කිරීමේ වගකීම පැහැර නොහරින බව ද ඔහු කීවේය.
ජනතාව පත්ව සිටින දුෂ්කරතාවෙන් අයුතු ප්‍රයෝජන ලබන ජාවාරම්කරුවන් පිරිසක් බිහිවී සිටින බවත් මෙවැනි ජාවාරම් මැඩලීමට රජය මැදිහත් වන බවත් හෙතෙම පැවසීය.
දේශපාලන හේතු මත දශක ගණනාවක් පුරා ප්‍රමාදවූ ඇතැම් තීන්දු තීරණ කොපමණ දුෂ්කර වුවත් ගත යුතුව ඇති බවද ජනපතිවරයා කීවේය .
ආර්ථිකය නිවැරදි මගට ගෙන අනාගත පරම්පරාවේ අපේක්ෂාව ඉටු වන රටක් ගොඩනැගීමේ වගකීම රජය සතු වන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදු කර අර්බුදයෙන් රට මුදා ගන්නා බවද සඳහන් කළේය.
මේ සඳහා සහය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.