උද්ගතව ඇති කාබනික පොහොර ගැටලුවට විසඳුම්…! රසායනික පොහොර හිතකර භාවිතයට සැලසුමක්…! විද්වත් වාර්තාව හෙට ජනපතිට…!

November 15, 2021 at 8:26 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී කෘෂිකාර්මික පද්ධතියක් සංවර්ධනය කිරීම සම්බන්ධ මාර්ග සිතියමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් එකොළොස් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපතිවරයාට හෙට (16 වැනිදා) භාරදීමට නියමිතය.

මෙරට පරිසර හිතකාමී කෘෂිකාර්මික පද්ධතියක් සංවර්ධනය කිරීමට අදාළව මාර්ග සිතියමක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහට කළ දැනුම්දීමක් අනුව මෙම මාර්ග සිතියම සකස් කර ඇත.

සෞභාග්‍ය දැක්මේ සඳහන් වස විසෙන් තොර ගොවිතැනට අදාළ මාර්ග සිතියම මෙලෙස සකස් කර ඇති බව අනාවරණය වෙයි. මෙය වසර දෙක තුනකින් අදියරෙන් අදියර ක්‍රියාත්මක අධීක්ෂණ ක්‍රියාවලියකින් යුතු සැලැස්මක්ද වේ.

මහාචාර්ය කපිල ගුණවර්ධන, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය හරිස්චන්ද්‍ර අබේගුණවර්ධන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ, වෘත්තීය තාක්ෂණ විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්ද සිල්වා, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න, මහාචාර්ය ජිනේන්ද්‍ර කොස්තා, මහාචාර්ය ජගත් එදිරිසිංහ, මහාචාර්ය මාලක රණතිලක සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අජන්ත ද සිල්වා මෙම මාර්ග සිතියම සකස් කරන ලද විද්වත් කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ වෙති.

මෙම මාර්ග සිතියමට අනුව කාබනික පොහොර යොදාගෙන වගා කටයුතු කිරීම එක් පියවරක් වන අතර, රසායනික පොහොර පරිසර හිතකාමී අයුරින් යොදා ගැනීම පිළිබඳව ද මාර්ග සිතියමෙහි දක්වා තිබේ.

රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මගින් පරිසරයට දැවැන්ත හානියක් පසුගිය කාලයේ සිදුවූ ආකාරයත්, එම රසායනික පොහොර පරිසර හිතකාමී ලෙස භාවිතය මගින් පරිසරය ආරක්ෂා වන ආකාරය පිළිබඳවත් මෙම මාර්ග සිතියම ඔස්සේ පැහැදිලි කෙරේ.

කාබනික ගොවිතැනට අදාළව දැනට උද්ගතවී තිබෙන ගැටලු තත්ත්වයන් රැසක් මෙම මාර්ග සිතියම ඔස්සේ නිවැරැදි කිරීමට ද අපේක්ෂා කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස