Brandix ආයතනයට කොරෝනා ආවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමෙන්ද? පරීක්ෂණ අලුත් දිශාවකට…

October 7, 2020 at 10:56 am | by emanisa.lk

දිවුලපිටිය ඇඟළුම්, කම්හල ආශි‍්‍රත කොවිඞ් පොකුරෙන් තවත් ආසාදිතයින් 124 දෙනෙකු ඊයේ රාති‍්‍රය වන විට වාර්තා විය.

ඒ අනුව දිවුලපිටිය කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 832 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම ආසාදිතයින් සියලු දෙනා එම ඇඟළුම් කම්හලේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ වෙති. ඔවුන් සියලු ම දෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි සොයා ආරක්‍ෂක අංශ තවදුරටත් විමර්ශන සිදුකරයි.

ඉකුත් 25 සහ 26 යන දිනවල එම ආයතනයේ පිරිස් සහභාගි වූ සාද දෙකක් සම්බන්ධයෙන්ද ආරක්‍ෂක අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ඉකුත් 25 වනදා කටුනායක එයාර් පෝට් ගාර්ඩ්න් හෝටලයේ පැවති සාදයකට මෙම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 39 දෙනෙකු සහභාගි වී ඇති අතර ඉන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව මේ වන විට තහවුරු කර ගෙන තිබේ.

ගුවන් සේවාවල සේවය කරන පිරිස් නිරෝධානයනය සඳහා ද මෙම හෝටලයට පැමිණෙන බව පැවසෙයි. ඒ අනුව මෙම හෝටලයේ පැවති සාදයට සහභාගි වූ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු හරහා වෛරසය ව්‍යාප්ත වූවා දැයි සොයා මේ වනවිට විමර්ශන කි‍්‍රයාත්මකයි.

ඉකුත් 26 වනදා අදාළ කර්මාන්ත ශාලාව තුළම තවත් සාදයක් පවත්වා ඇති අතර ඊට ජනප්‍රිය සංගීත කණ්ඩායමක්ද සහභාගි කරවාගෙන තිබේ.

එම සංගීත කණ්ඩායමේ සාමාජිකයින් 13 දෙනෙකු කර්මාන්ත ශාලාව තුළට පැමිණ ඇති අතර ඔවුන් හරහා වෛරසය ව්‍යාප්ත වූවාද යන්න මතුව ඇති තවත් සැකයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස